Politics Sri Lanka

අල්ලස් කොමිසමෙන් වීරවංසට නඩු පවරයි

අල්ලස් කොමිසමෙන් වීරවංසට නඩු පවරයි

ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර 06ක කාලය තුළදී සිය වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවෙක් සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාට එරෙහිව නඩු පවරා ඇත.

එම නඩුව විභාග කිරීමට දින නියම කිරීම සඳහා ලබන මැයි මස 16 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කලුආරච්චි මහතා අද (19) නියෝග කර තිබේ.

අල්ලස් කොමිසම හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතාට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල විත්ති පාර්ශවයට ලබාදිය යුතු ලේඛණ බාරදී ඇතැයි කියමින් ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා එලෙස නියම කර ඇත.

2009 වසරේ සිට 2014 වසර දක්වා වු වසර හයක කාලය තුළදී විත්තිකාර හිටපු අමාත්‍ය විමල් වීරවංස මහතා රුපියල් කෝටි 71කට ආසන්න මුදල් හා දේපළ උපයාගෙන ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ජනාධිපති නීතීඥ සරත් ජයමාන්න මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති චෝදනා පත‍්‍රයේ සඳහන් වේ.

2009 ජනවාරී මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලය තුළදී සිය නීත්‍යානුකූල වත්කම් හා ලැබීම්වලින් උපයාගත නොහැකි රුපියල් 74,480,017 මුදල් හා දේපළ උපයාගෙන ඇති බවත් එම මුදල් හා දේපළ උපයාගෙන ඇත්තේ අල්ලස්වලින් බවත් අධිචෝදනා පත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මුදල් උපයාගෙන ඇති ආකාරය හා දේපළ උපයාගෙන ඇති ආකාරය දැක්වෙන උපගොනු දෙකක්ද අධිචෝදනා පත‍්‍රය සමඟ අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ සුනේත‍්‍රා ජයසිංහ මහත්මිය කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ල විත්ති පාර්ශවයට බාරදියයතු ලේඛණ තමන් බාරදුන්නේ යැයි ප්‍රකාශ කර ඇත.

ඉදිරිපත් වු කරුණු සළකා බැලූ විනිසුරුවරයා අදාළ නියෝගය නිකුත් කළ අතර මෙම නඩුව ලබන මැයි මස 16 වැනිදා කැඳවීමටද අධිකරණයේ පෙනී සිටින ලෙස විත්තිකරුට නියෝග කර තිබේ.