Politics Sri Lanka

මේ දූෂිත ආණ්ඩුවත් පරාජිත දූෂිත කල්ලියත් පරාජය කිරීම පුංචි ඡන්දයේ ජනතාවගේ වගකීමක්

මේ දූෂිත ආණ්ඩුවත් පරාජිත දූෂිත කල්ලියත් පරාජය කිරීම පුංචි ඡන්දයේ ජනතාවගේ වගකීමක්

මේ දූෂිත ආණ්ඩුවත්, පරාජිත දූෂිත කල්ලියත් පරාජයට පත්කිරීමේ දෙයාකාරයක අභියෝගයක් මෙවර මැතිවරණයේදී පවතින බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

දූෂිත ක්‍රියාවලියේ උත්පත්තිය ප්‍රාදේශීය හා නගර සභා ආයතන බැවින් නියපොත්තෙන් කැඩීමට ඇති දේ පොරවෙන් කැපීම දක්වා යෑමට ඉඩ නොදී මෙවර ඡන්දය නිවැරැදිව භාවිත කරන්නැයි දේවසිරි මහතා ඉල්ලීමක් කළේය.

රටේ දේශපාලනය ගැන කලකිරීමෙන් ඡන්දය භාවිත නොකිරීම නිෂ්ඵල ක්‍රියාවක් බැවින් ගැඹුරු දේශපාලනයකට අවතීර්ණ වීමේ මඟ පුංචි ජන්දයෙන් හෝ අරඹන්නැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ පසුගිය 06වනදා ඇතුල්කෝට්ටේ සොලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවේදීය.

වෙනසක ඇරඹුම, විසින් සංවිධානය කළ මෙම මාධ්‍ය හමුවට විශ්වවිද්‍යාල ආචාර්යවරු, මහාචාර්යවරු, හිටපු අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්,

“මේ මැතිවරණය දෙයාකාරයකින් වැදගත්. පළාත් පාලනය සාමාන්‍ය ජනයාගේ පොදු, එදිනෙදා ජීවිතයට අදාළ කරුණු නියෝජනය විය යුතුයි. ඒ කාරණය මූලිකයි. ඊට අමතරව පොදුවේ සමස්ත සමාජයට ගැඹුරු දේශපාලනයක් අවශ්‍යයි. 2015 ජනවාරි 8දා ඇතිවූ වෙනස සමඟ හුදෙක් එක් පක්ෂයක් හෝ දෙකක් බලයට පත් කිරීමේ අරමුණක් නෙවෙයි තිබුණේ. එදා ඒ ජනවරම පාවා දී, උල්ලංඝනය කළ ගමනක ඒ අය අද යමින් සිටිනවා.

ජනවාරි 8දා පරාජයට පත් කළ දූෂිත බලවේග නැවත හිස එසවීමට එය බලපා තිබෙනවා. අපිට අද දෙයාකාරයක අභියෝගයක් තියෙනවා.

එදා බලය ඩැහැගත් දූෂිත කණ්ඩායමට එරෙහිවත්, එදා පරාජයට පත් කණ්ඩායම නැවත හිස එසවීමට බලා සිටින කණ්ඩායම් දෙකටම විවේචනයක් අවශ්‍ය වී තිබෙනවා.අපේ දේශපාලන ක්‍රමය අතිශය දූෂිත වී තිබෙනවා. ජවිපෙ මුල්කරගෙන අපි ඉදිරිපත් කරන ව්‍යාපාරයට සමානවම දැනට දූෂිත ක්‍රියාවල නිරත අයත් දූෂණයට එරෙහිව පෙනී සිටීම විශේෂත්වයක්. පිටරටින් ණය ගන්නවා නම් ඒ මහජන සුබසිද්ධියට විය යුතුයි. ඒවා අවභාවිත කිරීම තමයි මූලික ලක්ෂණය. මෙය වෙනස් කිරීමට ඵලදායි පියවරක් අවශ්‍යයි.

දූෂිත ක්‍රියාවලියේ උත්පත්තිය තමයි ප්‍රාදේශීය සභා, නගර සභා මැතිවරණය. මේවාගෙන් තමයි ඊට පුහුණුව ලබන්නෙ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න ඉඩ තැබිය යුතු නෑ. එය පළාත් පාලනයෙන් ඇරඹීමට සක්‍රිය ක්‍රියාමාර්ග අවශ්‍යයි. කලකිරීම මත ඡන්දෙ නොදී සිටීම ඵලක් නෑ. ඒ වෙනුවට සක්‍රියව හා ප්‍රයෝජනවත් ලෙස ඡන්දය ලබා දිය යුතුයි. ජවිපෙ වටා එක් වී සිටින පිරිස් දූෂිත කොටසේ අය නොවෙයි.

ව්‍යාධිගත වූ රෝගී තත්ත්වයක් වූ දූෂිත දේශපාලනය පරාජය කිරීමේ අවශ්‍යතාව අද එළඹී තිබෙනවා. පරාජිත බලවේගවලට හෝ ජයග්‍රහණය පාවා දුන් අයට තවදුරටත් බලයේ සිටීමට ඉඩ නොදී හරවත්, ගැඹුරු දේශපාලන මාවතක් පෑදිය යුතුයි. ඒ අයට විවේචනයක් සහිත පිරිසක් හරහා පණිවුඩයක් අප දිය යුතුයි.”

හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා

“මේ මැතිවරණය ජාතික දේශපාලනයට ලොකු බලපෑමක්. මේ ඡන්ද ව්‍යාපාරය කඳවුරු වශයෙන් බෙදෙනවා. මේ තුන්ගොල්ල එකම කඳවුරක කණ්ඩායම 3ක් බව අද වන විට පෙනී යනවා. මේ තුන්ගොල්ලන්ගෙම අඩුවැඩි වශයෙන් දූෂණය, වංචාව, නාස්තිය තියෙනවා. මේ වන විට ප්‍රධාන වී තිබෙන්නේ මහ බැංකු බැඳුම්කර වංචාව. මේ අය කොහොම බෙදුණත් මෙහෙයවන්න වෙනම පිරිසක් ඉන්නවා. 7 දෙනෙක් ඉන්නවා. මේ හත් දෙනා තමයි බලයට එන කණ්ඩායම් මෙහෙයවන්නේ. කාට බලය දුන්නත් ඒ නිසා වෙනසක් නැහැ. සමාගම් 7ක් ඒ ඒ පාලන බලය වෙනුවෙන් පෙනී සිටිනවා.

රටේ පරිහානියක් ඇති වී තිබෙනවා නම් මේ තුන්ගොල්ල වග කිව යුතුයි. ආදායම් බෙදී යෑමේ විසමතාව වැඩිම බලපෑම මේ කාලය තුළ දක්නට තිබෙනවා. පෝසත්ම 10%ට මුළු ආදායම 34% බෙදෙද්දී අනිත් කොටසට 1.8%යි. පහළ ආදායම් ලබන මිනිස්සු අන්ත දුගී තත්ත්වයට පත් වෙලා.

මේ විදිහට තවදුරටත් ඉස්සරහට යනවද නැද්ද කියලා ඔබ තීරණය කරන්න. ජ.වි.පෙ. පමණයි මේ පීඩාවට පත් වූ අයට උත්තරයක් ලබා දිය හැකි එකම බලවේගය. කිරිඇල්ල ඇමැතිතුමා කියනවා ප්‍රතිපාදන දෙන්නේ එ.ජා.ප.යට ඡන්දේ දෙන ප්‍රාදේශීය සභාවලට විතරක් කියලා. එතැනින්ම ඔප්පු වෙනවා එක පක්‍ෂයක් රට පාලනය කරන්නේ කියලා. ඒවට විරුද්ධව ඡන්දේ දෙන්න ව්‍යාපාරයක් තියෙනවා කියලා මෙදා පාර ඔප්පු කරන්න.”

විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හරිනි අමරසූරිය මහත්මිය

“2015 ජනතාව එකතු වුණේ දිගු කාලීන වෙනසක අරමුණින්. මේ වෙලාවේ එදා ඒ වෙනස සිදු නොවීමත් පරාජය කළ බලවේගවලට නැවත පණ ගන්වන්නත් කටයුතු සිදු වී ඇති බව පෙනී යනවා. ජාතිවාදය, පටු ලෙස හැසිරෙන පිරිසක් සිටියත් ශිෂ්ට සම්පන්න ජනතාව නව වෙනසක් අරමුණු කරගෙන සිටිනවා.

අපිට ප්‍රධාන පක්‍ෂ තුනෙන් ඒ වෙනස බලාපොරොත්තු වෙන්න බෑ. ඊට එකම බලවේගය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. මේ ඡන්දෙදී අපිට වැඩිය හිතන්න දෙයක් නෑ. ජාතික වශයෙන් වගේම පිරිසුදු ගමේ සංවර්ධනය ගොඩ නැඟීමේ අරමුණින් නව වෙනසකට යා යුතුයි.”

කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය අනුර කරුණාතිලක මහතා

“පළාත් පාලන මැතිවරණයට ඔබ්බට ගිය සාකච්ඡාවක් අද තියෙන්නේ. ප්‍රාදේශීය සභා හෝ නගර සභා මන්ත්‍රිවරයෙක් පත්කර ගන්නවට වඩා හුදෙක් පිරිසුදු දේශපාලනයක් වෙනුවෙන් පෙළ ගැහෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ජේ‍යෂ්ඨ කථිකාචාර්ය අසේල රංගදේව මහතා

මේ වෙලාවේ විවිධ නාට්‍ය ටිකක් රඟ දැක්වෙනවා. සමහරු අත්අඩංගුවට ගන්නවා. පෙර පැවැති දූෂිත ක්‍රමවලට වඩා ටිකක් වෙනස් ආකාරයේ ඡන්ද උපක්‍රම අද අපිට දක්නට ලැබෙනවා. මහ බැංකු මුදල් වංචාවට සියලු දෙනා විවිධ අයුරින් සම්බන්ධ බව අපිට පෙනී යනවා.”

වරලත් ප්‍රමාණ සමීක්‍ෂණ ආචාර්ය චන්දන ජයලත් මහතා

“මේ රටේ වැඩිපුරම දූෂණයට ලක් කරන්නේ ඉදිකිරීම් ව්‍යාපෘති, මේ රටේ ඉදිකිරීම් සම්බන්ධ දත්ත ගබඩාවක් නැහැ. අද වනවිට වුවත් මාධ්‍ය මඟින් ඉදිරිපත් කරන සංඛ්‍යා ලේඛන ගැන විශ්වාසයක් නැහැ. විෂය භාර ඇමැතිවරු කිසිම වග විභාගයකින් තොරව කොන්ත්‍රාත් පිරිනැමීම, මුදල් වැය කිරීම අත්තනෝමතිකව සිදුකරනවා. මේක ශාපයක්. දෙතුන් දෙනෙක් එකතු වෙලා 14%ක පමණ පිට්පොකට් ගහනවා. මේ මුදල් පරිහරණය කිසිම විනිවිද භාවයක් නැහැ. විගණකාධිපතිවරයා පවා අද අපහසුතාවට පත්වෙලා.

අපි ප්‍රශ්නය මොකක්ද දන්නවා. දැන් උත්තරය දිය යුතුයි. අපි ආණ්ඩු බලය කෙසේ වෙතත් ප්‍රාදේශීය සභාවල බලය සැලකිය යුතු ප්‍රමාණයක් ජ.වි.පෙ.ට දිය යුතුයි. අතීත කාමයෙන් පෙළිය යුතු නැහැ.”