Politics Sri Lanka

විගණකාධිපති අඩපණ කිරීමේ දූෂිතයන්ගේ උත්සාහයට විරෝධය

විගණකාධිපති අඩපණ කිරීමේ දූෂිතයන්ගේ උත්සාහයට විරෝධය

විගණකාධිපතිවරයා අඩපණ කිරීමට දූෂිත දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් ගන්නා උත්සාහය පරාජය කිරීමට අද (23) සිට වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කරන බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සඳහන් කරයි.

රාජ්‍ය මුදල් රැකදීම සඳහා විගණකාධිපතිවරයා විසින් සිදුකරන ස්වාධීන ක්‍රියාවලිය නිසා වංචා, දූෂණවලට සම්බන්ධව දේශපාලනඥයන් හා විවිධ කණ්ඩායම් කලබලයට පත්වී සිටින බවද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කරති.

මේ නිසා අසත්‍ය චෝදනා එල්ල කර විගණකාධිපතිවරයාගේ වැඩ කටයුතු අඩපණ කිරීමට හා විගණකාධිපතිවරයා අපකීර්තියට පත් කිරීම සඳහා මෙම පිරිස් වැඩ කටයුතු සිදුකරමින් තිබෙන බවද වෘත්තීය සමිති සඳහන් කරයි.

මේ නිසා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සියලුම වෘත්තීය සමිති එක්ව අද පාර්ලිමේන්තු වටරවුමේදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනබවත්, එම ක්‍රියාමාර්ගයටද ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු කරන බවත් ඔවූහු පෙන්වා දෙති.

පසුගිය 07වනදා විගණකාධිපතිවරයා විසින් නිකුත් කළ 2016 වාර්සික විගණ වාර්තාව මගින් පැවති රාජපක්ෂ ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩු ගෙනයන වැරදි ආර්තික ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැඩිව අවධාරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉතා බරපතල ගණයේ අනාවරණයන් කිහිපයක්ද මාධ්‍ය හමුවේ සිදු කරන ලදී.

එම මාධ්‍ය හමුවෙන් පසු මහින්ද පිලේ මන්ත්‍රීවරු කිහිපදෙනෙකු විසින් මැතිවරණ කොමිසම හමුවේ විගණකාධිපතිවරයාට එරෙහිව පැමිණිල්ලක්ද ගොණු කළ අතර බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු විමරශනය පැවති කාලයේ විගණකාධිපතිවරයා කෝප් කමිටුව හමුවේ සිදු කළ අනාවරණයන් සම්බන්ධයේන උරණ ව සිටි වත්මන් ආණ්ඩු මැති ඇමතිවරුද ඔහුව දැඩි දෝෂදර්ෂණයට ලක් කරන ලදී.