Politics Sri Lanka

වත්මන් ආණ්ඩුවද ජනතා ප්‍රශ්න ඉදිරියේ හැසිරෙන්නේ මුග්ධ බව ප්‍රදර්ශනය කරමිනි

වත්මන් ආණ්ඩුවද ජනතා ප්‍රශ්න ඉදිරියේ හැසිරෙන්නේ මුග්ධ බව ප්‍රදර්ශනය කරමිනි

රාජාංගන ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔවුනට පොලීසිය ලවා පහරදී, සිරගත කරමින් ගොවි ජනයා මර්දනය කිරීමට ආණ්ඩුව ගත් නින්දිත ක්‍රියාමාර්ග යළිත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

විපක්‍ෂයේ සිටින විට ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන ධනපති නායකයන් බලය අතට ගත්විට හැසිරෙන්නේ බැටන් පොලුවලින් වෙඩි උණ්ඩවලින් ප‍්‍රශ්න විසඳිය හැකි යැයි සිතා බවත් මේ ආණ්ඩුවද එවැනි මුග්ධ ආණ්ඩුවක් බව පැහැදිලි බවත් අපේ රටේ ගොවි ජනතාව ඇතුළු සියලු ජනතාව මෙම සත්‍යය තේරුම් ගත යුතුව තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලය විසින් නිකුත් කර ඇති එම මාධ්‍ය නිවේදනය සම්පූර්ණයෙන් පහතින් පල වේ…

“තඹුත්තේගමදී ගොවි ජනතාවට එල්ල කළ ප‍්‍රහාරය හෙළා දකිමු!

රාජාංගන පානීය ජල ව්‍යාපෘතියක් පිළිබඳ ගැටලුවක් මුල්කරගෙන ඊට විරෝධය දැක්වීම සඳහා පසුගිය 28දා ගොවි ජනතාව තඹුත්තේගමදී පැවැත්වූ උද්ඝෝෂණයට ආණ්ඩුව පොලීසිය ලවා ප‍්‍රහාර එල්ල කොට ගොවි-ගෙවිලියන් 50කට ආසන්න ප‍්‍රමාණයක් රක්‍ෂිත බන්ධනාගාර ගතකර ඇත. තම ගැටලුවකට ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමුකර එය විසඳා ගැනීම සඳහා උද්ඝෝෂණය කළ ජනතාවට පොලීසිය ලවා ආණ්ඩුව එල්ල කළ අමානුෂික ප‍්‍රහාරය අපි දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකිමු.

අපේ රටේ ආණ්ඩු හැමවිටම ජනතාවගේ දෑස් වසා ජනතාවට හානිකර ව්‍යාපෘති අරඹා ඇති බව ජනතාව අත්දැකීමෙන් දනී. ජලය පිළිබඳ ප‍්‍රශ්නයේදී ගොවි ජනතාවට අයිති ජල සම්පත සමාගම්වලට විකිණීම ආණ්ඩුවල ප‍්‍රතිපත්තිය වී තිබේ. තමන් නොදන්නා රහසිගත ජල ව්‍යාපෘතියකදී ජනතාව ඊට එරෙහි වන්නේ ඒ නිසාය. එය සාධාරණය. වගකිව යුතු ආණ්ඩුවක් නම් කළ යුතුව තිබුණේ, එක්කෝ අදාළ බලධාරීන් මැදිහත් වී ගොවි ජනතාවට කරුණු අවබෝධ කරදී ඔවුන්ගේ සැකය දුරු කිරීමය. නැත්නම් මෙම ජල ව්‍යාපෘතිය හානිකර වූවක් නම් නවතා දැමීමය. එහෙත් ආණ්ඩුව කටයුතු කළේ එසේ නොවේ. අධිකරණ වාරණ නියෝග ගත් ආණ්ඩුව, පොලීසිය ලවා උද්ඝෝෂණය කළ ගොවි ජනතාවට එලව එලවා පහර දුන් අතර අවසානයේ 50කට ආසන්න ප‍්‍රමාණයක් රක්‍ෂිත බන්ධනාගාරගත කළේය. ඒ අතර ජල ව්‍යාපෘතිය තාවකාලිකව නතර කළ බවද කියයි. එය මුලින්ම සිදුකළේ නම් මේ කිසිදු ගැටලුවක් මතුවන්නේ නැත. ගොවි ජනතාව පහර කන්නේ හෝ සිරගත වන්නේ නැත. එහෙත් ආණ්ඩුව කටයුතු කළේ ‘මහදැනමුත්තාගේ’ ක‍්‍රමයටය.

පොදු ජනතාවගේ ගැටලුවට ඇහුම්කන් නොදීමත් තම ගැටලු සඳහා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල නිරතවන ජනතාව අධිකරණ නියෝග මත මර්දනය කිරීමත් ඔවුනට කඳුළු ගෑස් ජල ප‍්‍රහාර හා බැටන් ප‍්‍රහාර එල්ල කරවීමත් අපේ රටේ සියලුම ආණ්ඩුවල ජානගත ලක්‍ෂණය වී තිබේ. විපක්‍ෂයේ සිටින විට ජනතාව ගැන කිඹුල් කඳුළු හෙළන ධනපති නායකයන් බලය අතට ගත්විට හැසිරෙන්නේ බැටන් පොලුවලින් වෙඩි උණ්ඩවලින් ප‍්‍රශ්න විසඳිය හැකි යැයි සිතාය. මේ ආණ්ඩුවද එවැනි මුග්ධ ආණ්ඩුවක් බව පැහැදිලිය. අපේ රටේ ගොවි ජනතාව ඇතුළු සියලු ජනතාව මෙම සත්‍යය තේරුම් ගත යුතුව තිබේ.

කෙසේ වුවත් රාජාංගන ගොවි ජනතාවගේ හඬට ඇහුම්කන් දෙනවා වෙනුවට ඔවුනට පොලීසිය ලවා පහරදී, සිරගත කරමින් ගොවි ජනයා මර්දනය කිරීමට ආණ්ඩුව ගත් නින්දිත ක්‍රියාමාර්ග යළිත් දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින අපි, අත්අඩංගුවට ගත් ගොවි නායකයින් ඇතුළු ගොවිජනතාව වහාම නිදහස් කරන ලෙසත් ගොජනයා මර්දනය කිරීම වහාම නවතන ලෙසත් ගොවිජනතාවගේ ජීවන වෘත්තියට හානිකර ක්‍රියාමාර්ග වහා නවතන ලෙසත් ජනතාවගේ අවබෝධයෙන් හා කැමැත්තෙන් තොරව මෙම සැක සහිත ජල ව්‍යාපෘතිය ක්‍රියාවට නොනගන ලෙසත් ආණ්ඩුවට බලකරමු.

දේශපාලන මණ්ඩලය

ජනතා විමුක්ති පෙරමුණ

2018.03.02”