Politics Sri Lanka

ජල උද්ඝෝෂණය අතරතුරු අත්අඩංගුවට ගත් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

ජල උද්ඝෝෂණය අතරතුරු අත්අඩංගුවට ගත් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

තඹුත්තේගම පොලීසිය හන්දිය අසළදී ඊයේ (28) පැවති ජල ව්‍යාපෘතියට එරෙහි ගොවි විරෝධතාවය අතරතුරුදි අත්අඩංගුවට ගත් පුද්ගලයින් 57 දෙනෙකු ලබන මස 05 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට නියෝග කර තිබේ.

ඔවුන් ඊයේ රාත්‍රියේම තඹුත්තේගම මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කර ඇති අතර ඉන් පසු එලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

රක්ෂිත බන්ධනාගාරගත කළ පිරිස අතර කාන්තාවෝ 5 දෙනෙකු ද සිටිති.

රාජාංගනය ජලාශයේ දියවරින් පෝෂණය වන ප්‍රදේශ රැසක ගොවි ජනතාව 1000කට අධික පිරිසක් මෙම විරෝධතාවයට එක් වී සිටියහ.

එම ජලාශයේ ජලය, පානීය ජල ව්‍යාපෘතියකට ලබාදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙම විරෝධතාවය පවත්වන ලදී.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු බීබීසී සේවයට සඳහන් කර ඇත්තේ “කලාඔය හරස් කොට ඉදි කරන ලද විශාල වේල්ලක් මගින් නිර්මාණය කරනු ලැබ ඇති රාජාංගනය වැව අක්කර 19,500ක් සඳහා වී වගාවට අවශ්‍ය ජලය සපයන ශ්‍රී ලංකාවේ විශාල වාරි ව්‍යාපෘතියකි.

මේ වැව් නිර්මාණය කර තිබෙන්නේ ජලය තැන්පත් කොට ගොවීන්ට වගාව සඳහා සැපයීමට. ඒ නිසා රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ගොවි ජනතාව අතර මැසිවිලි පළ වෙමින් තිබුණා.

දැනට දැනගන්නට ලැබෙන ආකාරයට යෝජිත පානීය ජල ව්‍යාපෘතිය සඳහා එක දවසකට ජල අක්කර අඩි පනහක් වැය වෙනවා. එහෙම බැලුවොත් මාසයකට අක්කර අඩි 1500ක් වැය වෙනවා. ඒ අනුව එක කන්නයක් (මාස හයක කාලයක්) තුළ පානීය ජලය හැටියට ජල අක්කර අඩි 9000ක් නිකුත් කළොත් කුඹුරු අක්කර 2000කට පමණ ජල හිඟයක් ඇති වෙනවා.” යනුවෙනි.

මීට කලකට පෙර අනුරාධපුර නුවර වැව පදනම් කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද මෙවැනි පානීය ජල ව්‍යාපෘතියක් නිසා ජල හිඟයක් මතු වූ බව ද ගොවීහු පෙන්වා දෙති.