Gossips

අයවැය හෙට පාර්ලිමේන්තුවට

ජනතාව සවිබල ගැන්වීම සහ දුප්පතුන් පෝෂණය කිරීම මෙන්ම සියළු ජනතාවගේ මූලික අධ්‍යාපන සෞඛ්‍ය සහ ජීවනෝපාය අපේක්ෂාවන් ඉටු කිරීම හෙට ඉදිරිපත් කරන වත්මන් රජයේ 5 වන අයවැය මගින් අරමුණු කරගනු ලබන බව මුදල් අමාත්‍යාංශය පවසනවා.
එහිදී ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරන අතර, දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළිවෙල පුළුල් කිරීම සඳහා ද යෝජනා ඇතුළත් බවයි එමගින් සඳහන් කළේ.
2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
ඒ අනුව අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4.5ක් වන අතර එය 2020 වන විට සියයට 3.5 දක්වා අඩු කිරීම රජයේ ඉලක්කය බව මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
කොළඹ විශ්ව විද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න කියා සිටියේ රට තුළ පවතින දේශපාලන වටපිටාවට වඩා සංවර්ධනයක් ඉලක්ක කර ගත් අයවැයක් ඉදිරිපත් කිරීමට වත්මන් රජය කටයුතු කළ යුතු බවයි.
මේ අතර, වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් 17ක් මුල් කර ගනිමින් හෙට අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ පාර්ලිමේන්තු වට රවුම අසළ විරෝධතාවයේ නිරත වන බවයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ සභාපති ආර්.එම්.ඩී.බී. රත්නායක සඳහන් කළේ.

rnrn