Gossips

Update – සර්වපාක්ෂික හමුව ඇරඹේ – අගමැති සහ හිටපු අගමැතිත් එක්වෙයි – කථානායක, ජවිපෙ රැස්වීමට නැහැ

පාර්ලිමේන්තුවේ ඇති වී තිබෙන දේශපාලන නොසන්සුන්තාවයට විසදුමක් සෙවීම සඳහා කැදවා ඇති සර්ව පාක්ෂික හමුව මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා.
ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.
මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙන්ම පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් එම ස්ථානයට පැමිණි බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.
පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇති වූ දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියළු පක්ෂ අතර එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (17) මෙම සර්ව පාක්ෂික හමුව කැදවා තිබුණා.
මෙම හමුව සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු පක්ෂ නායකයින්ට සහ කථානායක කරු ජයසූරියට ද ආරාධනා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.
කෙසේ වෙතත්, කථානායක කරු ජයසූරිය සහ ජනතා විමුක්ති පෙරමුණ මෙම හමුව සඳහා සහභාගි නොවන බවට දැනුම් දී තිබුණා.
කථානායක කාර්යාලය නිවේදනය කළේ සර්ව පාක්ෂික හමුවට තමන් සහභාගි නොවන බවට කථානායක කරු ජයසූරිය, ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බවයි.
එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද කොළඹ අද (18) කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින් තමන් මෙම හමුවට සහභාගි නොවන බව ප්‍රකාශ කළා.
සර්ව පාක්ෂික හමුවට සහභාගිවීමට පෙර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් විජේරාමේ පිහිටි නිළ නිවසේදී අද (18) විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.
මීට අමතරව ජනාධිපතිවරයා අද කැඳවා ඇති සර්ව පාක්ෂික හමුවට සහභාගිවීමට දෙමළ ජාතික සන්ධානය ද තීරණය කළා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මේ බව කියා සිටියා.
එමෙන්ම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දෙමළ ප්‍රගතිශීලී සන්ධානයද සර්වපාක්ෂික හමුවට එක්වන බවයි එහි නායක හිටපු අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ.
මේ අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණ, අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ, අමාත්‍ය විමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ මෙන්ම අමාත්‍ය නීතීඥ උදය ගම්මන්පිලගේ නායකත්වයෙන් යුත් පිවිතුරු හෙළ උරුමයද අද පැවැත්වෙන සර්වපාක්ෂික හමුවට සහභාගි වී සිටිනවා.
මිට අමතරව හිටපු අමාත්‍ය රවුෆ් හකීම් නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංගසය සහ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංගසයද සර්ව පාක්ෂික හමුවට සහභාගි වී ඇති බව සඳහන්.

Update :- Sunday, November 18, 2018, 5.13pm
—————————————————————-
සර්ව පාක්ෂික හමුව තවත් සුළු මොහොතකින්
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික රැස්වීම ජනාධිපති කාර්යාලයේදී තවත් සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඊට සහභාගී වීම සඳහා පක්ෂ නායකයින් සහ නියෝජිතයින් එම ස්ථානයට පැමිණෙමින් සිටින බව හිරු වාර්තාකරුවන් ප්‍රකාශ කළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන සර්ව පාක්ෂික හමුව පිළිබඳ වැඩිදුර තොරතුරු හිරු ටී.වී. ඔස්සේ බලාපොරොත්තු වන්න.