Gossips

Update : රන්ජන්ට එරෙහි අපහාස නඩුව ජනවාරියට කල් යයි

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කර ඇති පෙත්සමේ සාක්ෂි විභාගය අද ආරම්භ කෙරුණා.
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රසන්න ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ බවට සඳහන් පෙත්සම් කැදවුණා.
නඩු ශාලාවේ ප්‍රක්ෂේපන යන්ත්‍රයක් ද සවි කර තිබුණේ රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ චෝදනාවලට පදනම් වූ ප්‍රකාශය නඩු විභාගයේදී පෙන්වීම සඳහායි.
සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන, රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා නැගීමට හේතු වූ කරුණු සහ ඉන් අනතුරුව සිදුකළ නෛතික ක්‍රියාදාමය සම්බන්ධයෙන් විග්‍රහයක් කළා.
නීතිඥවරයා කියා සිටියේ පසුගිය වසරේ අගෝස්තු මස කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කළ බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා පෙත්සම් දෙකක් ගොනු කළ බවයි.
ඒ අනුව අදාළ ප්‍රකාශයේ සම්පූර්ණ හඬ පටය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට යොමු කර නඩු නිමිත්තක් ඇති නිසා රන්ජන් රාමනායකට එරෙහිව චෝදනා ඇතුළත් ආඥාවක් සකස් කළ බව නීතිඥවරයා සඳහන් කළා.
එය ශ්‍රේෂ්ඨාධිකරණය සංශෝධන රහිතව පිළිගත් බව නීතිඥවරයා පවසා සිටියා.
කෙසේ වෙතත්, රන්ජන් රාමනායක චෝදනා ප්‍රතික්ෂේප කළ නිසා ඔහුට එරෙහිව නඩුව විභාගයට ගන්නා බව සඳහන් කළ නීතිඥවරයා සාක්ෂි විභාගය ආරම්භ කළා.
ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී ප්‍රදීප් මහමුතුගල නඩුවේ පළමු සාක්ෂිකරු ලෙස සාක්ෂි ලබාදුන්නා.
සිය සාක්ෂිය අවසන් කරමින් ඔහු පැවසුවේ රන්ජන් රාමනායකට එරෙහි චෝදනා ඇතුළත් ආඥාව නිසි ක්‍රමවේදයට අනුව සහ නීත්‍යානුකූලව සකසා ඇති බවට තමන් පිළිගන්නා බවයි.
වැඩිදුර සාක්ෂි විභාගය එළඹෙන වසරේ ජනවාරි 28 සිට අඛණ්ඩව දින 3ක් කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
රන්ජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ එම්.ඒ. සුමන්දිරන්ට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ජනවාරි 14 හෝ ඊට පෙර වග උත්තරකාර පාර්ශවයේ සාක්ෂි ලැයිස්තුව ගොනු කරන ලෙසයි.
Update : Monday, December 10, 2018 ,03.42PM
——————————————————-
අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට එරෙහි නඩුවේ සාක්ෂි විභාග කිරීම මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේදී ආරම්භ වී තිබෙනවා.
ඒ, පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.
එම සාක්ෂි විභාගය අද, හෙට සහ අනිද්දා යන දෙදින තුළ අඛණ්ඩව සිදුකිරීමට නියමිතව තිබෙනවා.
පසුගිය වසරේ අගෝස්තු මස 21 වනදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ මෙරට විනිසුරුවරුන් සහ නීතීඥවරුන්ගෙන් බහුතරයක් දූෂිත බවයි.
එමඟින් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කර තිබුණා.
ඊට අදාළ නඩුව අවසන් වරට කැඳවූ පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදා හිටපු අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්‍රමුඛ ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළේ නඩුවේ සාක්ෂි විභාගය පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදුකිරීමටයි.