Gossips

Update – පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල්තැබේ

පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 දක්වා කල්තැබීමට පියවර ගෙන ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර ඇතිවූ උණුසුම් තත්වයක් සමඟ මෙලෙස පාර්ලිමේන්තුව කල්තැබීමට හේතුවී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.
උදෑසන 10ට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය කතානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩු පක්ෂයට වෙන් කළ ආසනවල අසුන්ගෙන සිටියා.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් අසුන් ගනු ලැබුවේ විපක්ෂයට හිමි ආසනවලයි.
මේ අතර, පසුගියදා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර ද විපක්ෂයේ අසුන්ගෙන සිටි අතර, පසුගියදා රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් ඒ.එච්.එම් ෆවුසි සහ පියසේන ගමගේ ද අද (14) දිනයේ විපක්ෂයේ අසුන් ගැනීම විශේෂත්වයක්.
සභාව ආරම්භ වීමෙන් පසුව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවන ලෙස යෝජනාවක් ඉදිරිපත් කළා. එම අවස්ථාවේදී නැගී සිටි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඉල්ලා සිටියේ හෙට දක්වා පාර්ලිමේන්තුව කල් දමන ලෙසටයි.
කෙසේ වෙතත්, ස්ථාවර නියෝග අත්හිටුවීමේ යෝජනාව සම්බන්ධයෙන් කතානායකවරයා ඡන්ද විමසීමක් සිදුකළ අතර, එය වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.
පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ අතර එය ස්ථිර කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින්.
අනතුරුව, ඒ සදහා ඡන්ද විමසන බව කතානායකවරයා ප්‍රකාශ කළා.
ඒ සමඟ යළිත් පාර්ලිමේන්තුව උණුසුම් වූ අතර, කතානායකවරයා කියා සිටියේ හඬ අනුව පෙනී යන්නේ මෙම විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් සම්මත වූ බවයි.


Update :- Wednesday, November 14, 2018, 10.31 AM
————————————————————————-
මීට සුළු වෙලාවකට පෙර කථානායකවරයාගෙන් ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වී තිබෙනවා.
ඒ අනුව වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය අසුනේ අසුන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර දිනේෂ් ගුණවර්ධන මහතා සභානායක අසුනේ ද, සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අසුනේ එස් බී දිසානායක මහතා ද අසුන්ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර, පියසේන ගමගේ, ඒ එච් එම් ෆවුසි විපක්ෂයේ අසුන්ගෙන ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තා වන්නේ.