Gossips

Update : දේශපාලන අර්බුදය පිළිබඳ, පාර්ලිමේන්තු විවාදය උණුසුම්

වර්තමානයේ රට තුළ හටගෙන ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය අද ඉතා උණුසුම් අයුරින් පැවැත්වුණා.
පස්වරු 4 ට එම විවාදය ආරම්භ කරනු ලැබුවේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විසින්.
දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විවාදයක් ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් 16 දෙනෙකුගේ අත්සනින් යුත් යෝජනාවක් කථානායකවරයා වෙත භාර දුන්නා. ඉන් අනතුරුව පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණේ ඒ සඳහා පැය 3 ක විවාදයක් ලබාදීමටයි.
උදෑසන පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ජාතික ආණ්ඩුවෙන් ඉවත්වූයේ දැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේ ජාතික පුවත්පත් කිහිපයක පළ වූ මාධ්‍ය වාර්තා උපුටා දක්වමින්.
ඊට සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පිළිතුරු ලබාදුන්නා.
එම අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, කථානායක කරූ ජයසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වාසුදේව නානායක්කාර, බන්දුල ගුණවර්ධන, උදය ගම්මන්පිල, නලීන් බණ්ඩාර, විමල් වීරවංශ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ඊට මැදිහත් වුණා.
Update : Monday, February 19, 2018 19.49
—————————————————
පාර්ලිමේන්තුවේ පැය 03ක කල් තැබීමේ විවාදය මීට සුළු මොහොතකට පෙර ආරම්භ කෙරුනා.
රට තුළ උද්ගත වී ඇති දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා පැය 03ක කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාවය පළ කළා.
ඒ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද(19) පෙරවරුවේ පාර්ලිමේන්තුවෙන් කරනු ලැබූ ඉල්ලීමට අනුවයි.
පාර්ලිමේන්තුව පෙරවරු 10ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර ඊට පෙර පක්ෂ නායක රැස්වීමක් පැවැත්වුණා.
අනතුරුව පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ රට තුල පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට විවාදයක් ලබාදෙන ලෙසයි.
ඒ සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද මැදිහත් වුණා.