Gossips

Update – දෙමටගොඩ සිපෙට්කෝ නිවහනේ ඇතිවූ උණුසුම් තත්ත්වය තුල සිදුවූ වෙඩි තැබීමෙන් එක් අයෙකු මරුට – දෙදෙනෙකුට තුවාල

දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියෙන් එක් අයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
දෙදෙනකු බරපතල තත්ත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර ඉන් එක් අයෙකුයි අද (28) පස්වරුවේ මිය ගොස් ඇත්තේ.
හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග, අවශ්‍ය ලිපි ලේඛන කිහිපයක් රැගෙන යාම සඳහා අද පස්වරුවේ එම පරිශ්‍රයට පැමිණි අවස්ථාවේදී සංස්ථා සේවකයින් ඔහුට විරෝධය පළ කළේ නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකරන බව පවසමින්.
එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් 3 දෙනෙකු තුවාල ලැබුවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ සිද්ධියට සම්බන්ධ ආරක්ෂක නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ එහි සේවකයින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග ඇතුළු පිරිස බලහත්කාරයෙන් මේ වන විටත් එහි රදවාගෙන සිටින බවයි.
තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය, කැරළි මර්දන ඒකකය සහ ජල බවුසර් මේ වන විට එම ස්ථානයට කැදවා තිබෙනවා.
Update :- Sunday, October 28, 2018, 7.04 pm
—————————————————————-
ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයේ උණුසුම් තත්වයක් – වෙඩි තැබීමකින් දෙදෙනෙකුට තුවාල
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රය තුළ සිදුවූ වෙඩි තැබීමකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මොවුන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග එම පරිශ්‍රයට අද (28) පස්වරුවේ පැමිණි අවස්ථාවේදී එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.
එම අවස්ථාවේදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙකු සිදුකළ වෙඩි තැබීමකින් එහි සේවකයින් දෙදෙනෙකු තුවාල ලැබූ අතර මොවුන්ගේ හිසට සහ උදරයට තුවාල සිදුවී ඇති බවයි රෝහල් ප්‍රකාශකයා සඳහන් කළේ.
වෙඩි තැබීම සිදුකළ ආරක්ෂක නිලධාරියා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.



ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණ සිටි හිටපු ඛනිජ තෙල් අමාත්‍ය අර්ජුණ රණතුංග සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම