Gossips

Update – තෙඹුවනදී නොසන්සුන් වූ පොලිස් නිලධාරියා රිමාන්ඩ්

කළුතර – තෙඹුවනදී ගිනි අවියක් රැගෙන නොසන්සුන් ලෙස හැසිරී මේ හේතුවෙන් අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ලබන 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔහු අද (04) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බව ප්‍රකාශ කරමින් මෙම පොලිස් සැරයන්වරයා ඊයේ (03) තෙඹුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.
ඔහු එහිදී කියා සිටියේ තමා නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ රථයක් සිය භාරයට ගත්තද, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදුන් බවයි.
Update :- Thursday, October 4, 2018 9.43 pm
—————————————————————
තෙබුවනදී නොසන්සුන් වූ පොලිස් සැරයන් අද අධිකරණයට
කළුතර – තෙඹුවනදී ගිනි අවියක් රැගෙන නොසන්සුන් ලෙස හැසිරී මේ හේතුවෙන් අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරයා අද (04) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ අතර ඔහුගේ සේවයද තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ නිලධාරියාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගන්නා ලෙසට අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන් බවයි.
මෙම පොලිස් සැරයන්වරයා යුද සමයේදී එල්.ටී.ටී.ඊ. අත්අඩංගුවේ සිට පසුව නිදහස් වූ පුද්ගලයෙකු බවද වාර්තාවනවා.
තමන්ට සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබා ගන්නා බව ප්‍රකාශ කරමින් මෙම පොලිස් සැරයන්වරයා ඊයේ (03) තෙඹුවන නගරයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.
ඔහු එහිදී කියා සිටියේ තමා නීතිවිරෝධීව වැලි ප්‍රවාහනය කළ රථයක් සිය භාරයට ගත්තද, ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා නොදුන් බවයි.
අදාළ වැලි ප්‍රවාහන රථයට නීතිමය බලපත්‍ර තිබීම හේතුවෙන් පසුව එය නිදහස් කිරීමට තෙඹුවන පොලීසියේ ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.
කෙසේ වෙතත් මෙම සිද්ධියට විරෝධය පළ කරමින් සනත් ගුණවර්ධන නැමති මෙම පොලිස් සැරයන්වරයා සිය ගිනි අවිය පෙන්වමින් සාධාරණය ඉෂ්ඨ නොකරන්නේ නම් වෙඩි තබාගන්නා බව ප්‍රකාශ කළා.
එහිදී ඔහුගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකු මෙන්ම උසස් පොලිස් නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ සිටි අතර, පැය දෙකක කාලයකින් පසු අදාළ සැරයන්වරයා මෙල්ල කරගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පියවර ගත්තා.
එහිදී වෙඩි තැබීමක් සිදුවූ අතර, ඉන් කිසිවෙකුටත් හානි සිදුව තිබුණේ නැහැ.