Gossips

update : ගොවි විරෝධතාවක් විසුරුවන්න කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර – 45 ක් අත්අඩංගුවට

රාජාංගනය ජලාශයේ ජලය විදේශ සමාගමකට විකිණීමේ සූදානමක් ඇති බව පවසමින් තඹුත්තේගම නගරයේ පැවති ගොවි විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය අද ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය අද දහවල් මෙම විරෝධතා පා ගමන ආරම්භ කළේ අනුරාධපුර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ කලාඔය පාළම අසලින්.
පසුව ගොවීන් පා ගමනින් තඹුත්තේගම – පොලිස් හන්දියට පැමිණි අතර, එම අවස්ථාවේදී පොලීසියේද මැදිහත්වීමෙන් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් තුමිය පැමිණ ගොවි සංවිධානයේ නියෝජිතයින් පස්දෙනෙකු ගැටළුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඇගේ කාර්යාලයට කැඳවාගෙන ගියා.
කෙසේ වෙතත් පා ගමනට එක්ව සිටි අනෙක් ගොවීන් ඔවුන් යළි එම ස්ථානයට පැමිණෙන තුරු තඹුත්තේගම නගරයට පිවිසෙන මාර්ගය අවහිර කරනු ලැබුවා.
එහිදී පොලීසිය ඔවුන් මාර්ගයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමට මැදිහත්වන විට පිරිස ඊට විරෝධය පළ කිරීමත් සමගයි පොලීසිය ජල ප්‍රහාර එල්ල කරනු ලැබුවේ.
එහිදී ඇතිවූයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්.
පොලීසිය ජල ප්‍රහාර එල්ල කිරීම සමඟ විරෝධතාවට එක්ව සිටි ගොවීන් පොලීසියට සහ පොලිස් නිලධාරීන් පැමිණි රථ වාහනවලට ගල් මුල් ප්‍රහාර එල්ල කර තිබෙනවා.
එලෙස ගල් මුල් ප්‍රහාර එල්ල කිරීම නිසා පොලීසිය ඔවුන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මේ වනවිට ඇතිවූ කළහකාරී සිද්ධියෙන් පොලිස් නිලධාරීන් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
එමෙන්ම විරෝධතාවට එක්ව සිටි ගොවීන් පස්දෙනෙකුද තුවාල ලබා තඹුත්තේගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් 4 දෙනෙකු ශල්‍යකර්මයකට ලක් කළබවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවන් පස්දෙනෙකු ඇතුලූ පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
update : Wednesday, 28 February 2018 – 14.54
——————————————————————-
තඹුත්තේගම නගරයේ පැවැත්වෙන විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.
රාජාංගනය ජලාශයේ ජලය උපයෝගි කරගෙන අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම සදහා ආරම්භ කිරීමට නියමිත ජල ව්‍යාපෘතියකට එරෙහිවයි මෙම විරෝධතාවය පැවැත්වෙන්නේ.
විරෝධතාවය හේතුවෙන් අනුරාධපුර – පාදෙණිය මාර්ගය ද තඹුත්තේගම නගරයෙන් අවහිර වී තිබෙනවා.
විරෝධතාකරුවන් තඹුත්තේගම පොලීසියට ද ගල් ප්‍රහාරයක් එල්ල කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.