Gossips

Update : කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

තවත් කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනෙකු අද උදෑසන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන දිවුරුම් දුන්නේ ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, සාලින්ද දිසානායක මන්ත්‍රීවරයා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.
ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක දිවුරුම් දුන් අතර, ලක්ෂ්මන් වසන්ත පෙරේරා මන්ත්‍රීවරයා දිවුරුම් දුන්නේ ජාත්‍යන්තර වෙළඳාම සහ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි.
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජාතික ආණ්ඩුවක් නොවන තත්ත්වයකදී අමාත්‍ය මණ්ඩලයේ මුළු අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30 කට සීමා කළ යුතුවනවා.
අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් නොවන අමාත්‍යවරුන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාවේ එකතුව 40 ක් විය යුතුයි.
ඒ අනුව නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 21 දෙනෙකු මේ වනවිට දිවුරුම් දී තිබෙනවා.
එසේම රාජ්‍ය අමාත්‍යවරුන් 15 දෙනෙකු දිවුරුම් දී ඇති අතර, මේ වනවිට පත්කර ඇති නියෝජ්‍ය අමාත්‍යවරුන් සංඛ්‍යාව 9 ක්.
එහෙත් කම්කරු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් මනූෂ නානායක්කාර පෙරේදා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා.
මේ අතර අමාත්‍යාංශ 3 ක් සඳහා පත්කළ නව ලේකම්වරුන්ද අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිවරයා අතින් සිය පත්වීම් ලිපි ලබාගත්තා.
ඒ අනුව ජේ.ජේ. රත්නසිරි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු හා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, එස්.පී. කොඩිකාර ජාත්‍යන්තර වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් පත්කර තිබෙනවා.
ආර්.ඩබ්.ආර්. පේමසිරි පත්කර ඇත්තේ මහාමාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසයි.