ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 23 වන අග්‍රාමාත්‍යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අද පෙරවරු 11.16 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දුන්නා.
ඒ, ජනාධිපති කාර්යාලයේදියි.
ඔහු මීට පෙර 1993 වසරේ සිට 1994 දක්වාත් 2001 වසරේ සිට 2004 දක්වාත් අග්‍රාමාත්‍ය ධුරය හොබවනු ලැබුවා. 2015 වසරේ ජනාධිපතිවරණයෙන් පසු යළි අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන් අතර, එම වසරේම අගෝස්තු මාසයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු සිව්වන වතාවටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ අද දිවුරුම් දෙනු ලැබුවේ පස්වන වරටයි.
අද පෙරවරු 11 ට පමණ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි අතර, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉන් මිනිත්තු කිහිපයකට පමණ පසු ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියා.
මෙම අවස්ථාවට එක්සත් ජාතික පෙරමුණේ හිටපු අමාත්‍යවරුන් වන ගාමිණී ජයවික්‍රම පෙරේරා, පාඨලී චම්පික රණවක, මංගල සමරවීර, රංජිත් මද්දුමබණ්ඩාර, රවී කරුණානායක, නවීන් දිසානායක, ජෝන් අමරතුංග, තලතා අතුකෝරාල යන හිටපු අමාත්‍යවරුන් එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව අරලියගහ මන්දිරය වෙත පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිතයි.
update : sunday, 16 December 2018 – 11.24
——————————————————
එක්සත් ජාතික පක්ෂ නායකයා අගමැති ධුරයේ දිවුරුම් දීමට පැමිණේ
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම සඳහා මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණ සිටිනවා.
ඔහු අද පෙරවරු 11.16 ට යෙදෙන සුබ මොහොතින් දිවුරුම් දීමට නියමිතයි.