Gossips

Update : උදයංග වීරතුංග බන්ධනාගාරයක – දිවයිනට එන්න කැමති බවත්, නීතිඥයා අධිකරණයට දන්වයි

මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව අද ඔහුගේ නීතිඥවරයා අද (29) අධිකරණයට දැනුම් දුන්නා.
ඒ සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
උදයංග වීරතුංග වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වාගේ කරුණු දැක්වීමෙන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ උදාර කරුණාතිලක අධිකරණයට කරුණු දක්වා සිටියා.
ඔහු එහිදී ප්‍රකාශ කළේ සැකකාර උදයංග වීරතුංග දැනට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාල් ප්‍රාන්තයේ පිහිටි බන්ධනාගාරයක රඳවා සිටින බවයි.
තමාට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය බව උදයංග වීරතුංග එරට අධිකරණයට දැනුම්දිය යුතු බවත් අනතුරුව, මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් ඔහු අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම නියමිත ක්‍රමවේදය බවත් ඔහු එහිදී ප්‍රකාශ කළා.
එමෙන්ම, නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා තවදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ මිග්යානා ගණුදෙණුවලට සිදුවූ සමයේ ගුවන් හමුදාවේ කමාන්ඩර්වරයෙකු ඇතුලු ගුවන් හමුදා නිලධාරින් 5 දෙනෙකුට ඊට සම්බන්ධ වී ඇති බවයි.
ඔවුන්ගේ බැංකු ගිණුම් 40 ක තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට ලබා ගැනීමට අවශ්‍ය බව ඔහු අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව, අදාළ බැංකු ගිණුම් සම්බන්ධයෙන් බැංකු 7 කින් තොරතුරු ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී තිබෙනවා.
මීට අමතරව, උදයංග වීරතුංගට අයත් ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් 2015 වසරේ අප්‍රේල් 29 දා සිට තහනම් කර තිබියදී එම වසරේම මැයි 4 වනදා ඔහුගේ ගිණුමකින් මුදල් ලබාගෙන ඇති බව ද අද අනාවරණ වුණා.
එලෙස ලබා ගත් රුපියල් තුන්කෝටි පනස් හත් ලක්ෂයක මුදලක් ඩුබායි හි පිහිටි බැංකුවක ගිණුමකට බැර කර ඇති බවයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ.
Update : Friday, June 29, 2018 11.20
———————————————
මිග් යානා ගණුදෙනුවට අදාළ නඩුවට පෙනී සිටීමට රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන බව ඔහුගේ නීතිඥවරයා අද අධිකරණයට දැනුම් දුන්නා.
ඒ එම සිද්ධියට අදාළ නඩුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයි.