Gossips

Update: ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් ජනතාව නව වසර පිළිගනී

නව වසර උදාවීමත් සමඟ ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනතාව අද උදෑසන ආගමික ස්ථානවලට ගොස් වතාවත්වල නිරත වුණා.
උදා වූ වසරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට පෙර බොහෝ පිරිසක් මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගෙන ආශිර්වාද ලබා ගත් බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
එමෙන්ම අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිදුන් ඇතුළු අටමස්ථානය වැද පුදා ගැනීමට බැතිමතුන් විශාල පිරිසක් ඊයේ පස්වරුවේ සිට පැමිණෙමින් සිටින බවයි එහි සිටින හිරු ප්‍රාදේශීය වාර්තාකරු අතුල බණ්ඩාර කියා සිටියේ.
වතුකරයේ ජනතාවට ද උදා වූ නව වසර පිලිගනු ලැබුවේ කෝවිල්වලට ගොස් හින්දු ආගමික වතාවත් වල නිරත වෙමින්.
කතෝලික ජනතාව ද දේවස්ථාන වෙත ගොස් නව වසරේ ආගමික වතාවත්වල නිරත වූ බවයි පුත්තලම හිරු වාර්තාකරු ජූඩ් සමන්ත කියා සිටියේ.
මීට අමතරව අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් වූ උතුරේ ජනතාව ද නව වසර උදාව උණුසුම් අන්දමින් පිලිගෙන තිබෙනවා.
මේ අතර, උදා වූ නව වසරේ වැඩ කටයුතු ආරම්භ කරමින් ඓතිහාසික සෝමාවතී පුද බිම වෙත ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ආගමික වතාවත්වල නිරත වුණා.
අනතුරුව ජනාධිපතිවරයා, සෝමාවතී රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල හිමිපාණන් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
මීට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජයශ්‍රී මහා බෝසමිඳුන් වැද පුදා ගනිමින් ආශිර්වාද ලබාගෙන තිබෙනවා.
එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අද උදෑසන අරලිය ගහ මන්දිරයේදී නව වසරේ වැඩ කටයුතු ආරම්භ කළේ සාම්ප්‍රදායික පිළිවෙත්වලට මුල් තැන දෙමින්.
මීට අමතරව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ඊයේ කතරගම කිරිවෙහෙර පුදබිම වෙත ගොස් නව වසරට ආශිර්වාද ලබා ගත්තා.
Tuesday, January 1, 2019 12.51PM
—————————————————-
නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනතාව මේ වන විට වෙහෙර විහාරස්ථානවලට පැමිණ ආගමික වතාවත්වල නිරත වනවා.
මහනුවර හිරු වාර්තාකරු සඳහන් කළේ අද උදෑසන සිටම ඓතිහාසික දළදා මාළිඟාව වෙත අති විශාල ජනකායක් නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණෙමින් සිටින බවයි.
මීට අමතරව අනුරාධපුර – අටමස්ථානය, කතරගම – කිරිවෙහෙර, කැළණි සහ බෙල්ලන්විල ඇතුළු දිවයිනේ සෑම විහාරස්ථානයකම පාහේ නව වසරට ආශිර්වාද ලබා ගැනීම සඳහා ජනතාව පැමිණෙමින් සිටින බව සඳහන්.