Gossips

Update : අර්ජුන් ඇලෝසියස්ගේ පියා, මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයා, ඇතුළු 5 දෙනා රිමාන්ඩ්

බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි, පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන, එම සමාගමේ සභාපති, ජෙෆ්රි ඇලෝසියස් සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් තුන්දෙනා ලබන මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
බැඳුම්කර ගනුදෙනුව සිදුවන අවස්ථාවේදී පී. සමරසිරි, බැඳුම්කර ටෙන්ඩර් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනු ලැබුවා.
ඔහු සහ පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වන පුෂ්පමිත්‍ර ගුණවර්ධන, චිත්‍රා රන්ජන් හුළුගල්ල, මුතුරාජ සුරේන්ද්‍රන් යන සැකකරුවන් ඔවුන්ගේ නිවෙස්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ අද පෙරවරුවේදියි.
පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අද පස්වරුවේ අත්අඩංගුවට ගැනුණු අතර, පසුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන එනු ලැබුවා. අනතුරුව සැකකරුවන්ගෙන් පැය 7කට ආසන්න කාලයක් ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ.
මොවුන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර කියා සිටියේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ නිර්දේශවලට අනුව මොවුන් අත්අඩංගුවට ගත් බවයි. කෙසේ වෙතත්, නඩුවේ 10 වන සැකකරු ලෙස නම් කර ඇති මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති පී. සමරසිරි වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලීන් ලද්දුවහෙට්ටි කියා සිටියේ තම සේවාදායකයා ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස කටයුතු කිරීමේදී ක්‍රියාත්මක කර ඇත්තේ හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ලබාදුන් නියෝග බවයි.
එමෙන්ම මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඇප ඉල්ලීමක් ද සිදුකළ අතර, එය ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය ඔවුන්ව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.
2015 වසරේ පෙබරවාරි 27 වනදා සිදුවූ බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් බිලියන 1.6 ක අලාභයක් සිදුවූ බවට මුලින්ම අනාවරණ වූයේ ඒ සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විගණන වාර්තාවක් මගින්.
පසුව මේ පිළිබඳව සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ජනාධිපති විමර්ශන කොමිසන් සභාවක් පත් කළ අතර, එමඟින් අනාවරණය වූයේ මෙම බැදුම්කර ගණුදෙනුව හේතුවෙන් රාජ්‍ය ආයතනවලට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 8.5 කට අධික බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන පසුගිය වසරේ පෙබරවාරි 4 වන දා අත්අඩංගුවට ගැනුණු අතර, මාස 10කට පමණ පසුව ඔවුන්ට ඇප නියම වුණා.
කෙසේ වෙතත් මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැහැ.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස 2018 වසරේ අප්‍රේල් 19 වනදා ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තුවක් ද නිකුත් කර තිබෙනවා.
Update : Monday, March 25, 2019 16.58
—————————————————-
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5 දෙනා මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.rnrnrn
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ බවයි.
අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම, මෙම වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තුන්දෙනෙකු ද ඔවුන්ගේ නිවෙස්වලදී අද උදෑසන එම දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.

rnrnrnrnrn