Gossips

Update – අගමැති සහ කථානායක, ජනපති නිල නිවසට

ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්වක් සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරූ ජයසූරිය ජනපති නිල නිවසට ගොස් තිබෙනවා.
ජනාධිපති නිළ නිවසේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය සාකච්ඡාවට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයාගේ නිළ නිවසට මේ වන විට පැමිණ ඇති බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළා.
පාර්ලිමේන්තුව තුළ හෙට දිනයේදී බහුතරය බලය පෙන්වීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සූදානම්ව සිටින නිසා ඊට පෙර අගමැති තනතුර කථානායකවරයාට ලබාදීමට සූදානමක් පවතින බවටයි වාර්තා වන්නේ.
මේ අතර, හෙට (19) සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සඳහන් කළා.
එමෙන්ම හෙට පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන බවයි ඔහු කියා සිටියේ.
පාර්ලිමේන්තු රැස්වීම කල් දැමීමේ සූදානමක් පවතින්නේ ද යන්න පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී නියෝජ්‍ය මහලේකම්වරයා කියා සිටියේ න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තු සභා වාරය හෙට පෙරවරු 10.30ට ආරම්භවීමෙන් පසුව පක්ෂ නායක රැස්වීමේදී ගනු ලබන තීරණවලට අනුව එහි කටයුතු වෙනස් විය හැකි බවයි.
Update :- Sunday, February 18, 2018 6.44 pm
——————————————————————-
පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ කථානායක කරු ජයසූරිය අද පස්වරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි.
මෙම හමුව ජනාධිපති නිළ නිවසේදී පැවැත්වෙන බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
එමෙන්ම හෙට පෙරවරුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී කැදවා තිබෙනවා.
පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල සඳහන් කළේ හෙට පෙරවරු 10.30ට සාමාන්‍ය පරිදි පාර්ලිමේන්තුව රැස්වන බවයි.
මේ අතර, පළාත් පාලන ආයතන පිහිටුවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ, අද පෙරවරුවේ පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැති විශේෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදීයි.
එමෙන්ම අද පස්වරු 7.30ට එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු කණ්ඩායම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යළි හමුවනවා. ඒ, වත්මන් දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡාව කිරීම සඳහායි.