Gossips

Update – අගමැති, ඉන්දීය අගමැති හමුවෙයි

ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවී තිබෙනවා.
අද (20) පෙරවරුවේ නවදිල්ලි නුවර අගමැති මැදුරේදී මෙම හමුව සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
මීට අමතරව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය විදේශ කටයුතු ඇමතිනි සුෂ්මා ස්වරාජ් මෙන්ම එරට ස්වදේශ කටයුතු අමාත්‍ය රාජ්නාත් සිං ද හමුවී තිබෙනවා.
තුන්දින නිල සංචාරයක් සදහා ඉන්දියාවේ සංචාරයක නිරත වන අග්‍රාමාත්‍යවරයා ඊයේ (19) රාහුල් ගාන්ධි ඇතුලු කොංග්‍රස් පක්ෂ නායකයන් ද මුණ ගැසුණා.
Update :- Saturday, October 20, 2018, 2.06 pm
————————————————————————
අගමැති, අද මෝදි හමුවෙයි
ඉන්දියාවේ සංචාරයක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවනවා.
එහිදී වෙළඳ හා ආයෝජන කටයුතු පිළිබඳ මෙන්ම සාමුද්‍රීය ආරක්ෂාව පිළිබදව ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වෙන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත්‍රත්වයක් පවතින බවත්, සංවර්ධන සහයෝගීතාව මෙම සාකච්ඡාවලට ප්‍රධාන වශයෙන් තේමා වනු ඇති බවත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රවීෂ් කුමාර් සඳහන් කළා.
ඉන්දියාව සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ගැනීම, ශ්‍රී ලංකාවේ සියළු දේශපාලන පාර්ශවයන්ගේ අභිලාශය බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ඉන්දීය ආධාර යටතේ මෙරට උතුරුකරයේ ක්‍රියාත්මක වන නිවාස ව්‍යාපෘති සම්බන්ධයෙන් මෙන්ම සංහිදියා ක්‍රියාවලිය සහ බලය බෙදීමේ ක්‍රියාමාර්ග පිළිබදව ද දෙරටේ අග්‍රාමාත්‍යවරුන් සාකච්ඡා කරනු ඇති.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මෙහෙයුම් ඉන්දියාව වෙත පැවරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර, අග්‍රාමාත්‍යවරයා ඊයේ ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපති රාහුල් ගාන්ධි හමුවී සාකච්ඡා කළා.
එහිදී ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති වැඩපිළිවෙල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා රාහුල් ගාන්ධි දැනුවත් කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.