Gossips

TNA තීරණය ඉදිරි දින කිහිපයේ

පවතින දේශපාලන වාතාවරණයත් සමග කුමන පාර්ශවයට සහයෝගය පළ කරන්නේ ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේ රැස්වී සාකච්ඡා කරන බව දෙමළ ජාතික සන්ධානයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා පවසනවා.
ඔහු කියා සිටියේ මෙතෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.
පළමුව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂ සමග පවතින වාතාවරණය පිළිබදව සාකච්ඡා කරන බවයි ඔහු කියා සිටියේ.
ඉන් අනතුරුව, අනෙකුත් පාර්ශවයන් සමග සාකච්ඡා කර තීරණයකට එළඹෙන බව ඔහු සඳහන් කළා.
කුමන පාර්ශවයට සහය ලබා දෙන්නේ ද යන්න පිළිබදව ගනු ලබන තීරණයේදී දෙමළ ජනතාවට වඩා යහපත් විසදුමක් ලබා ගත හැකි අයුරින් එය ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.
මේ අතර, පවතින තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතා පළ කළේ මෙවන් අදහසක්.
-"රනිල් සහ මහින්ද මට දුරකතනයෙන් කතා කළා. දෙන්නාම මගෙන් සහයෝගය ඉල්ලුවා. ඒ ගැන මම සලකා බලන්නම් කියලා පිළිතුරු දුන්නා. "
මේ අතර ජනතා විමුක්ති පෙරමුණ කිසිදු පාර්ශවයකට සහය ලබා නොදෙන බව එහි නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ සිදුව ඇති බල පෙරළියට තම පක්ෂය මැදිහත් වීමක් සිදුනොකරන බවයි.