Gossips

S 13 දුම්රිය බලවේග කට්ටලය යාපනයට

ඉන්දියාවෙන් ආනයනය කළ S 13 දුම්රිය බලවේග කට්ටලය ඊයේ සිය පරික්ෂණ ධාවනය ආරම්භ කළා.
ඒ අනුව ඊයේ උදෑසන 7.30 ට පමණ එම දුම්රිය මරදානේ සිට කන්කසන්තුරේ දක්වා ගමන් කළ බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.
මගීන් රහිතව මෙම දුම්රිය ධාවනය කර ඇති අතර, මෙය කොළඹ වරාය වෙත ගොඩබෑම සිදුවූයේ පසුගිය වසරේ දෙසැම්බර් මස 3 වනදායි.
මෙම පර්යේෂණ ධාවනය සඳහා දුම්රිය නිෂ්පාදනය සිදුකළ ඉන්දීය තාක්ෂණික නිලධාරීන් මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු මාධ්‍යවේදීන් එක්ව සිටියා.
එම දුම්රිය බලවේග කට්ටලය මැදිරි 13 කින් සමන්විතයි.
එය වායුසමනය කළ පළමු පන්තියේ දුම්රිය මැදිරි දෙකක් දෙවන පන්තියේ මැදිරි දෙකක් හා තුන්වන පන්තියේ මැදිරි පහකින් සමන්විතයි.
දුම්රියේ පහසුවෙන් හැසිරවිය හැකි මගී ආසන සහිත අතර ඒවා සඳහා බැටරි ආරෝපණය කිරීම සඳහා පහසුකම් සපයා තිබීම විශේෂත්වයක්.
මෙම දුම්රියේ තවත් විශේෂත්වයක් වන්නේ GPS තාක්ෂනය ඔස්සේ දුම්රියේ ගමන්මාර්ගය නිරීක්ෂණය කළ හැකි වීමයි.
දුම්රිය කම්පන වලට ඔරොත්තු දීම සහ ගමනාන්තය දක්වා සුවපහසු ලෙස මගීන්ට ගමන්කිරීම සඳහා එයාර් සස්පෙන්ෂන් තාක්ෂනය යොදාගෙන තිබෙනවා.
මෙම දුම්රියේ උපරිම වේගය පැයට කිලෝමීටර් 120 ක්.
මෙවැනිම දුම්රිය බලවේග කට්ටල පහක් මෙම වසරේදී ආනයනය කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ඒ අනුව ඉදිරියේදී මෙම S 13 දුම්රිය බලවේග කට්ටල නගරාන්තර දුරගමන් සේවා සඳහා යොදවනු ඇති.