Gossips

IOC ඉන්ධන මිල යළි ඉහළ දමයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල ගණන් ඉහල නැංවීමට සාපේක්ෂව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද තම නිෂ්පාදන වල මිල ගණන්ද ඉහල නංවා තිබෙනවා.
ඒ අනුව එම සමාගම ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 137 දක්වාත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 151 දක්වාත් ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 දක්වා සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 119 දක්වාත් ඉහළ නැංවීමටයි පියවර ගෙන ඇත්තේ.
මාර්තු මාසයේදී මිල සංශෝධනයක් සිදු කළ ද තම සමාගම තවදුරටත් පාඩු ලබන බැවින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව මිල ගණන් වලට සාපේක්ෂව සිය නිෂ්පාදන වල මිල ඉහල නංවන බවයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම පප්‍රකාශ කළේ.
මාර්තු මාසයේදී මිල සංශෝධනයෙන් පසු එම සමාගමේ ඉන්ධනහල්හි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 126 ක් වූ අතර ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 100 ක්.
එක්ස්ට්‍රා ප්‍රිමියම් පෙට්‍රල් ලීටරයක මිල 128 ක් ව පැවතුනා.
ඉන්දියන් ඔයිල් සමාගම එක්ස්ට්‍රා මයිල් ඩීසල් ලීටරයක් රුපියල් 102 ටත් ලංකා සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 110 ටත් සුපර් පෙට්‍රල් ලීටරයක් රුපියල් 131 ටත් අලෙවි කලා.
මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් මිල ගණන් ඉහල නැංවූ අතර භූමිතෙල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 57 කින් වීම විශේෂත්වයක්.
ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල ඉහල යෑම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලැබූ පාඩුව පියවා ගැනීම සඳහා අවස්ථා කිහිපයකදීම මිල සංශෝධනයක් ඉල්ලා සිටියද රජය ඒ සඳහා අවසර ලබා දුන්නේ නැහැ.
කෙසේ වෙතත් පසුගිය මාර්තු මාසයේදී පෙට්‍රල් ලීටරයක් රුපියල් 9 කින්ද ඩීසල් ලීටරයක් රුපියල් 5 කින්ද ඉහල නැංවීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කළා.
එම අවස්ථාවේද රජය ඉන්ධන මිල සංශෝධනයක් සිදු නොකළ අතර, පෙරේදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත්තේ ඉන්ධන මිල ඉහළ නැංවීමටයි.
ඉන්ධන මිල සංශෝධනයට අනුව රුපියල් 117 ක් ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහල දමා තිබෙනවා.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 137 ක්.
රුපියල් 128 ක් ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 148 ක් දක්වා රුපියල් 20 කින් ඉහල නංවා තිබෙනවා.
ඩීසල් ලීටරයක මිල ඉහල නංවා ඇත්තේ රුපියල් 14 කින්.
ඒ අනුව රුපියල් 95 ක් ව පැවති ඩීසල් ලීටරයක නව මිල රුපියල් 109 ක්.
සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 09 කින් ඉහල නංවා තිබෙනවා.
ඒ අනුව සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 110 සිට 119 දක්වා ඉහල යනවා.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් ඉහල නංවා තිබීම විශේෂත්වයක්.
ඒ අනුව රුපියල් 44 කට පැවති භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 101 ක් දක්වා ඉහල යනවා.
ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ගත් තීරණයත් සමග මධ්‍යම රාත්‍රියේ සිට ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ නැංවීමට එම වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා සදහන් කළේ ඒ අනුව පළමු කිලෝමීටරයට අය කරන ගාස්තුව පමණක් රුපියල් 50 සිට 60 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.
මේ අතර, බස් ගාස්තු වැඩි කිරිම සම්බන්ධයෙන් හෙට පැවැත්වෙන අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සදහන් කළා.
මේ අතර ඉන්ධන මිල ඉහළ යන බව ප්‍රකාශයට පත්වීමත් සමග දිවයින පුරා බොහෝ ඉන්ධන හල් අසල දිගු පෝලිම් දැකගත හැකිවුණා.
ඉන්ධන මිල වැඩි කිරීමේ රජයේ තීරණය ජනතාව දැඩිව විවේචනය කරනවා.