Gossips

IOC ඉන්ධන මිලත් හෙට සිට යළි ඉහළට

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීමට සාපේක්ෂව තම ඉන්ධන මිල ගණන් ද යළි ඉහළ දමන බව ලංකා අයි. ඕ.සී. සමාගම පවසනවා.
එම සමාගම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සදහන් කළේ හෙට සිට ඉන්ධන මිල ගණන්, මෙලෙස යළි ඉහළ දැමීමට කටයුතු කරන බවයි.
මීට පෙර අයි. ඕ.සී. සමාගම විසින් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 9කින් සහ ඞීසල් ලීටරයක් රුපියල් 5කින් ඉහළ දමනු ලැබුවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඔටෝ ඩීසල් රුපියල් 14 කින් සහ සුපර් ඩීසල් රුපියල් 9 කින් ඉහළ දැමීමට නියමිතයි.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මෙතෙක් රුපියල් 117 ක මිලකට අලෙවි වූ අතර, ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 137 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් මෙතෙක් රුපියල් 128 කට අලෙවි වූ අතර, මිල වැඩිවීමත් සමග එහි නව මිල රුපියල් 148 ක් වනවා.
ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 14 කින් සහ සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 9 කින් වැඩිවන බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න සඳහන් කළේ.
ඒ අනුව මෙතෙක් රුපියල් 95ක්ව පැවති ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 109 දක්වාත්, රුපියල් 110 ක්ව පැවති සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 119 දක්වාත් ඉහළ යනවා.
එමෙන්ම භූමිතෙල් ලීටරයක මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 57 කින්.
භූමිතෙල් ලීටරයක් රුපියල් 44 ක මිලකට මෙතෙක් අලෙවි වූ අතර, මිල සංශෝධනයත් සමඟ එහි නව මිල රුපියල් 101 ක් ලෙස සටහන් වනවා.