Gossips

IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් ද, ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද ඉහළ දමා තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක රුපියල් 6කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද ඉහළ දමා ඇති බවයි.
එමෙන්ම ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ද ඉහළ දමා තිබෙනවා.
නව ඉන්ධන මිල ගණන් සංශෝධනයට අනුව 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 129ක් වනවා.
රුපියල් 147ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 152ක්.
එමෙන්ම, ඉන්ධන මිල සංශෝධනයට අනුව ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 103ක් වන අතර, සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 126ක් වන බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
අවසන් වරට ඉන්ධන මිල පසුගිය මස 10 වන දා සංශෝධනය වූ අතර එහිදී පෙට්‍රල් රුපියල් 2කින් ද, ඩීසල් රුපියල් 2කින් ද පහත දැමුණා.
මේ අතර, ලංකා අයි. ඕ.සී. සමාගම ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව ලංකා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 4කින් ඉහළ දමා ඇති අතර, යුරෝ ෆෝ වර්ගයේ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 5කින්. එමෙන්ම අයි. ඕ.සී. සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් ඉහළ නංවා තිබෙනවා.
කෙසේ නමුත්, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මිල ඉහළ නොදමන බවයි ලංකා අයි. ඕ.සී. සමාගම ප්‍රකාශ කර ඇත්තේ.
මිල සංශෝධනයත් සමඟ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 103ක් වන අතර, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 126ක් වනවා.
ඔක්ටේන් 95 වර්ගයේ එක්ස්ට්‍රා ප්‍රිමියම් ලීටරයක නව මිල වන්නේ රුපියල් 155ක්. අයි. ඕ.සී. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් තවදුරටත් රුපියල් 131කට අලෙවි කෙරෙනු ඇති.