Gossips

ETI තැන්පත්කරුවන් සමාගමේ දේපළ වටලයි

ඊ.ටී.අයි. තැන්පත්කරුවන් එම ආයතන සමූහයට අයත් කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයක් ඊයේ වටලනු ලැබුවා.
ඔවුන් සඳහන් කළේ තම තැන්පතු මුදල් ලබාදෙන තුරු ඉදිරියටත් මෙලෙස ඊ.ටී.අයි. සමාගම සතු දේපළ හා වත්කම් සම්බන්ධයෙන් සොයා බලන බවයි.
පළමුව මෙම පිරිස තම තැන්පතු මුදල් ලබා නොදීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොළඹ වෝඩ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි. මූලස්ථානයට පැමිණියා.
එහෙත් තැන්පතුකරුවන්ට ඊට ඇතුළුවීමට නොහැකි වන සේ එහි දොරගුළුලා තිබුණා.
ඒ වන විටත්, ඊ.ටී.අයි. ආයතනයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබූ අතර, එම ආරක්ෂක නිලධාරීන්ට තැන්පතුකරුවන්ගෙන් එල්ල වූයේ දැඩි විරෝධයක්.
මෙහිදී තැන්පතුකරුවන් පිරිසකට ආයතන බලධාරීන් සමඟ සාකච්ඡාවක් හිමිවුවද එය නිමා වූයේ විසදුමකින් තොරවයි.
අනතුරුව ඊ.ටී.අයි. තැන්පත්කරුවන් තමන්ට සාධාරණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලා කඩුවෙල – නවගමුව ශ්‍රී පත්තිනි දේවාලය වෙත ගොස් පොල් ගසා දේව කන්නලව්වක ද නිරත වුණා.
පසුවයි එම පිරිස කඩුවෙල – කොරතොට ප්‍රදේශයේ පිහිටි ඊ.ටී.අයි. ආයතනයක් වෙත ගොස් එය වටලා එහි අධ්‍යක්ෂ මණ්ඩලයට විරෝධය පළ කරමින් එම ආයතනය වටලනු ලැබුවේ.