Gossips

ETI අධ්‍යක්‍ෂ මණ්ඩලය මීගමුව අධිකරණයට පැමිණීමත් සමඟ නොසන්සුන් තත්ත්වයක්

ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස කටයුතු කරන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන අය සිය පෞද්ගලික රථවලින් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළට පැමිණ සිටීම හේතුවෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත්තා.
පසුව ඔවුන් පැමිණි රථ අධිකරණ භූමියෙන් ඉවත් කිරීමට අධිකරණ පොලිසිය කටයුතු කළද නඩුව අවසානයේ ඔවුන් යළිත් අධිකරණ භූමිය තුළට රථයක් ගෙන්වාගෙන එහි නැගී පිටත්ව යන අයුරු දක්නට ලැබුණා.
ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව එහි තැන්පත්කරුවන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර ඇති නඩුවක් අද මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගැනුණා.
අධිකරණ භූමියට බාහිර පුද්ගලයින්ගේ මෝටර් රථ පැමිණීම තහනම් වූවත්, එම නඩුවට පෙනී සිටීම සඳහා ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිය පෞද්ගලික මෝටර් රථවලින් පැමිණ සිටින අයුරු දක්නට ලැබුණා.
මේ, සම්බන්ධයෙන් තැන්පත්කරුවන් දැඩි ලෙස විරෝධය පළ කළා.
පසුව අධිකරණ පොලිසියේ මැදිහත්වීමෙන් අදාළ රථ අධිකරණ භූමියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමට පියවර ගත්තත්, නඩුව අවසානයේ ඊ.ටී.අයි. මූල්‍ය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් නැවතත් මෝටර් රථයක් අධිකරණ භූමියට ගෙන්වාගෙන එහි නැගී පිටව ගියා.
මේ අතර, කඩුවෙල – කොරතොට පිහිටි ඊ.ටී.අයි. සමූහ ව්‍යාපාරයට අයත් පොල් වත්තක පොල් ගසා කපා රැගෙන යෑමට උත්සාහ කරන බවට ලද තොරතුරක් මත ඊ.ටී.අයි. තැන්පත්කරුවන් එම ස්ථානයට පැමිණ තිබුණා.