Gossips

ETI අධ්‍යක්ෂවරුන් වන ජීවක, නාලක, අංජලී සහ අසංක එදිරිසිංහගේ මුදල් සහ වත්කම් ගැන මහබැංකුව තොරතුරු සොයයි

ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවක, නාලක, අංජලී සහ අසංක එදිරිසිංහ යන පුද්ගලයන්ට අයත් මුදල්, දේපල හෝ වෙනත් වත්කම් සම්බන්ධයෙන් වන ඕනෑම තොරතුරක් ශ්‍රී ලංකා මහබැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙන ලෙස මහබැංකුව ඉල්ලීමක් කරනවා.
විශේෂ පුවත්පත් නිවේදනයක් පළ කරමින් මහබැංකුව සදහන් කරන්නේ ඒ අනුව, මේ වසරේ ජුලි 31 වනදා වනවිට ඔවුන්ට අයත් හෝ අර්ථදායි සබදතාවක් ඇති කවර ආකාරයෙන් හෝ බැහැර කළ දේපල සහ වත්කම් පිළිබද තොරතුරු එලෙස දැනුම්දිය හැකි බවයි.
එසේම, ජීවක හේමාල් එදිරිසිංහ, නාලක ප්‍රේමාල් එදිරිසිංහ, අංජලී දීපා එදිරිසිංහ සහ අසංක ශ්‍රීමාල් එදිරිසිංහ යන අය හෝ ඔවුන්ගේ ඥාතියෙකු විසින් මෙන්ම, වෙනත් තැනැත්තෙකු විසින් අත්කර ගත් මුදල් සහ දේපල සම්බන්ධයෙන් වන තොරතුරු ද ජනතාවට, මහබැංකුවට දැනුම්දිය හැකියි.
පසුගිය අගෝස්තු 15 වනදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තොරතුරු ලබාදෙන ලෙස මහජනතාවට ආරාධනා කිරීමට තීරණය කළ බව ද මහබැංකු නිවේදනයේ දැක්වෙනවා.
ඒ අනුව ජනතාවට, ඊ.ටී.අයි. අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරන ජීවක, නාලක, අංජලී සහ අසංක එදිරිසිංහ යන අයගේ වත්කම් පිළිබද තොරතුරු කොළඹ – 01 ජනාධිපති මාවතේ, ශ්‍රී ලංකා මහබැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දිය හැකියි.
එසේම, එම තොරතුරු 0112 477 738 දරණ ෆැක්ස් අංකය මගින් ද යොමු කළ හැකි බව මහබැංකුව පළ කළ පුවත්පත් නිවේදනයේ සදහන්.