Gossips

ATM භාවිතයේදී සැළකිලිමත් වන්නැයි මහ බැංකුව දන්වයි

ඒ.ටී.එම්. යන්ත්‍ර මගින් සිදුකරනු ලබන ගණුදෙනුවල සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා ගෙවුම් කාඞ්පත් සහ ඒ.ටී.එම්. යන්ත්‍ර භාවිත කිරීමේදී සැලකිලිමත් විය යුතු බව මහ බැංකුව ජනතාවට දැනුම් දෙනවා.
හඳුනාගත නොහැකි, අනවසර ගණුදෙනුවක් හෝ අහිමි වූ හෝ අස්ථානගත වූ කාඞ්පත් වේ නම් එවැනි සිදුවීම් වහාම අදාළ බැංකුව දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ.
ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලයේ ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා ගණුදෙනුකරුවන් විසින් ඊ.එම්.වී. තාක්ෂණය සහිත ගෙවුම් කාඞ්පත් භාවිත කිරීම අවශ්‍ය බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.
ඒ මත පිහිටා තිබෙන විද්‍යුත් චිපය මගින් ඒ බව හඳුනාගත හැකි අතර, එලෙස ඊ.එම්.වී. තාක්ෂණයෙන් තොරව කාඞ්පතක් භාවිත කරන්නේ නම් එම තාක්ෂණය සහිත නව කාඞ්පතක් නිකුත් කරන මෙන් අදාළ බැංකුවෙන් ඉල්ලීමක් කළ හැකි බවද මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.
මේ අතර සී සී ටී වී දර්ශන පථයට හසු නොවන ලෙස ඒ.ටී.එම්. යන්ත්‍ර අසළ සැකකටයුතු අන්දමින් රැඳී සිටින පුද්ගලයින් පිළිබඳව පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබදව තොරතුරු අනාවරණ වීමත් සමඟයි.
පසුගිය දින කිහිපයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ මෙම සිදුවීම්වලට අදාළව මේ වන විටත් චීන ජාතිකයින් දෙදෙනෙකු සහ රුමේනියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඔවුන් ඒ.ටී.එම්. යන්ත්‍ර ආශ්‍රිතව උපකරණයක් සවි කර ගනුදෙනුකරුවන් විසින් ඒ.ටී.එම්. යන්ත්‍රයට ඇතුළත් කරනු ලබන කාඞ්පත්වල දත්ත සොරා ගෙන ව්‍යාජ කාඞ්පත් සකසා රුපියල් ලක්ෂ 12 ක පමණ මුදල් වංචා කර ඇති බවයි පරික්ෂණවලදී හෙළිවී ඇත්තේ.
ඔවුන් සන්තකයේ තිබී එලෙස සකස් කරන ලද ව්‍යාජ ඒ.ටී.එම්. කාඞ්පත් 200 ක් ද සොයාගැනුනා.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ ඒ.ටී.එම්. යන්ත්‍ර ආසන්නයේ සැකකටයුතු ලෙස ගැවසෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කිරීමට කටයුතු කරන ලෙසයි.