Gossips

ගැටළු ඇත්නම් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර අධිකරණය හමුවට එන්න – අකිල විරාජ්

දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය සමිතිවලට මේ පිළිබද ගැටළුවක් ඇත්නම් සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් නොකර අධිකරණය හමුවට යන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(05) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර 24 කට අධික කාලයක දී අධ්‍යාපන පද්ධතිය තුළ දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින් 12,000 කට අධික සංඛ්‍යාවකගෙන් සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා අභියාචනා ඉදිරිපත් වී තිබු බවයි.
ඒ අභියාචනා ඉහළ රාජ්‍ය නිලධාරීන් විසින් සහ රාජ්‍ය සේවා කොමිසම විසින් විභාග කර ඉන් 1018 කට සහන සැලසීමට කටයුතු කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී පවසා තිබෙනවා.
මේ පත්වීම් සම්බන්ධයෙන් ගැටළුවක් ඇත්නම් ගුරුවරුන් හා සිසු දරුවන් අපහසුතාවයට ලක් නොකර අධිකරණය හමුවට ගොස් එම ගැටළු නිරාකරණය කර ගන්නා ලෙස අමාත්‍යවරයා වෘත්තීය සමිති නියෝජිතයිගෙන් ඉල්ලා සිටිනවා.