Gossips

පාසල් නොගිය ගුරුවරුන් කොළඹදී ගැටේ

ගුරු විදුහල්පතිවරුන් ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක කළ වර්ජනය සාර්ථක බව අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කළා.
කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ වර්ජනය අසාර්ථක බවයි.
දේශපාලන පලි ගැනීම් මුවාවෙන් අධ්‍යාපන සේවාවන් හි සිදුකරන පත්වීම් නතර කරන ලෙස බලකරමිනුයි අධ්‍යාපනය සුරැකීමේ වෘත්තීය සමිති එකමුතුව මෙම වර්ජනය ආරම්භ කළේ.
මේ අතර, වර්ජනයේ නිරත වෘත්තීය සමිති සහ නව පත්වීම් ලබාගැනීමට නියමිත පිරිස් අතර අද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ද හට ගත්තා.
කෙසේ වෙතත්, පොලීස් කැරලි මර්දන ඒකකයේ නිලධාරින් මැදිහත්ව ඇති වීමට ගිය ගැටුම පාලනය කළත්, ඇතිවූ උනුසුම්කාරී තත්ත්වයත් සමඟ වර්ජනයේ නිරත ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ධම්මික අලහප්පෙරුම තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබුවා.
අද දිනයේ දිවයිනේ බොහෝ සිසුන් පාසල් වෙත පැමිණියත්, ගුරුවරුන් වැඩි වශයෙන් පාසල්වලට නොපැමිණි බවයි වාර්තා වන්නේ.
කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් රැසක ළමයින් පාසල් වෙත පැමිණ තිබුණත් ගුරුවරුන්ගේ අඩුවක් දක්නට ලැබුණා.
එමෙන්ම ඇතැම් පාසල්වල සිසුන් ගුරුවරු නොමැතිවීම හේතුවෙන් සිය පන්ති කාමරවල ගී ගයමින් විනෝදයෙන් පසුවුණු බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
දෙමාපියන් කිහිපදෙනෙකු සඳහන් කළේ මෙම වර්ජනය ඉතා අසාධාරණ බවයි.
කෙසේ වෙතත් සුපුරුදු පරිදි පාසල්වල කටයුතු සිදු කෙරුණු බව පාසල් කිහිපයක විදුහල්පතිවරුන් ප්‍රකාශ කළා.
මේ අතර වර්ජනයේ නිරත වෘත්තිය සමිති අද පස්වරුවේ කොළඹ මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර ඊට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් කියා සිටියේ වර්ජනය අතිසාර්ථක බවයි.
කෙසේ වෙතත් වර්ජනය අසාර්ථක බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.