Gossips

විජයකලා ගැන පොලිස් පරීක්ෂණ ඇරඹේ

රාජ්‍ය ඇමතිණි විජයකලා මහේෂ්වරන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර හමුවක් මේ වනවිට අරලියගහ මන්දිරයේදී ආරම්භ වී තිබෙනවා.
එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩ නැගිය යුතු බවට යාපනයේ පසුගියදා පැවති රාජ්‍ය උත්සවයකදී විජයකලා මහේෂ්වරන් අමාත්‍යවරිය සිදුකළ ප්‍රකාශය පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා ඇයගෙන් කරුණු විමසීමට නියමිතව ඇති බව සඳහන්.
ඊයේ දිනයේදී අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ සිද්ධියට සම්බන්ධ පරීක්ෂණ අවසන් වනතුරු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ධුරයෙන් ඉවත් කරන ලෙසයි.
අදාල කරුණ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී ද උණුසුම් වාද විවාද ඇති වූ අතර ඒ හේතුවෙන් සභාව කල් තැබීමටද සිදුවුණා.
ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඇය පාර්ලිමේන්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
ඒ අනුව ඊයේ පස්වරුව වන විට කතානායක කරූ ජයසූරිය විජයකලා රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වී ඇත්දැයි සොයා බලන ලෙස නීතිපතිවරයාට දැනුම් දී තිබුණා.
අද දිනයේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී කථානායක කරූ ජයසූරිය කියා සිටියේ ඇයගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවයි.
මේ අතර රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට ලැබී ඇති පැමිණිලි විමර්ශනය කිරීම සඳහා අපරාධ කොට්ඨාශය වෙත යොමුකර තිබෙනවා.
ඒ අනුව අපරාධ කොට්ඨාශයේ ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ අදාළ විමර්ශන සිදුකරන ලෙසයි පොලිස්පති පූජිත් ජයසුන්දර උපදෙස් ලබාදී ඇත්තේ.