Gossips

යාපනය කොට්ඨාශයේ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කෙරේ

පසුගිය දින කිහිපය තුළ ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන යාපනය කොට්ඨාශයේ සියලූම පොලිස් නිලධාරින්ගේ නිවාඩු අද (04) සිට අවලංගු කර තිබෙනවා.
යාපනය ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන කඩිනමින් අවසන් කිරීම සඳහා මෙම තීරණය ගෙන ඇති බවයි.
එසේම, උතුර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු විසින් මීට සහාය ලබා ගැනීම සඳහා වව්නියාව සහ මන්නාරම යන පොලිස් කොට්ඨාශවලින් අමතර පොලිස් නිලධාරින් සියයකට ආසන්න ප්‍රමාණයක් යාපනය කොට්ඨාශ වෙත කැඳවා තිබෙනවා.
මේ අතර, යාපනය – චුන්නාක්කම් ප්‍රදේශයේ නිවසකට යතුරුපැදිවලින් පැමිණි පිරිසක් ඊයේ රාත්‍රියේ සිදුකළ පහරදීමකින් 15 හැවිරිදි දරුවෙකු තුවාල ලබා තිබෙනවා.
ප්‍රහාරය සඳහා පුද්ගලයින් 12 දෙනෙකු පැමිණ ඇති අතර, ප්‍රහාරය එල්ල කර ඇත්තේ ධනුරොක් කල්ලි නායකයාගේ ඥාති නිවසකට බවයි පොලීසිය සඳහන් කළේ.
ආවා කල්ලියේ සාමාජිකයින් පිරිසක් ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලීසිය සැක කරන අතර, ඔවුන් නිවසේ තිබූ භාණ්ඩ වලට ද අලාභ හානි සිදුකර තිබෙනවා.
පහරකෑමට ලක් වූ දරුවා මේ වනවිට යාපනය – තෙලිප්පලෙයි රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලීසිය සඳහන් කළේ.
මනිපායි ප්‍රදේශයේදී ධනුරොක් කල්ලියේ සාමාජිකයෙකුගේ නිවසට පසුගිය 28 වනදා අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් ද එල්ල වූ අතර ආවා කල්ලිය ඊට සම්බන්ධ බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගිය 30 වනදා යාපනය – රාමනාදන් වීථියේ පිහිටි ආවා කල්ලියේ හිටපු සාමාජිකයෙකුගේ නිවසකට ද මෙවැනි ප්‍රහාරයක් එල්ල වූ අතර, එහි හිමිකරු පොලීසියට පැමිණිලි කර තිබුණේ ධනුරොක් කල්ලියේ පිරිසක් අදාළ පහරදීම සිදුකර ඇති බවයි.