Gossips

චීන – ශ්‍රී ලංකා සහයෝගිතාව ගැන චීන විදේශ අමාත්‍යාංශයෙන් ප්‍රකාශයක්

චීන – ශ්‍රී ලංකා දෙරටේ සහයෝගීතාවයෙන් හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය දායකත්වය ඉදිරියටත් ලබාදෙන බව චීන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එහි ප්‍රකාශක ලූ – කෑන් ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් කළ හෙළිදරව්වට ප්‍රතිචාර දක්වමින්.
පසුගිය 26 වනදා හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එම පුවත්පත සිදුකළ අනාවරණයේදී දක්වා තිබුණේ චීනය විසින් හම්බන්තොට වරාය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති මෙරට ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකාව ණය උගුලක සිරකිරීමේ අරමුණින් බවයි.
ඒ හරහා ඔවුන් ජාත්‍යන්තරය තුළ චීන ආධිපත්‍ය පැතිරීමට උත්සාහ ගන්නා බවත්, එමගින් සඳහන් කර තිබුණා.
මෙයට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කර ඇති වාර්තාව සත්‍ය විකෘති කිරීමක් බවයි.
එහි තොරතුරු දක්වා ඇත්තේ වැරදි පදනමකින් බවත්, චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ලූ – කෑන් සඳහන් කර තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකාවේ විදේශ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතු බවයි.
නිව්යෝක් ටයිම්ස් පුවත්පතට තොරතුරු ලබා දී ඇති මාධ්‍යවේදීන් දෙදෙනා සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් සිදුකළ ප්‍රකාශ තුළින් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවන බවයි ඔවුන් එමගින් දක්වා ඇත්තේ.