Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන සී.අයි.ඩී., ටී.අයි.ඩී. ඇතුලූ පොලීසියේ තැන් තුනකට පැමිණිලි

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කිහිපයක් අද පොලිස් මූලස්ථානයට පැමිණිලි ඉදිරිපත් කළා.
පිවිතුරු හෙළ උරුමය, සිංහලේ අපි ජාතික සංවිධානය, සිංහල රාවය ජාතික සංවිධානය මෙලෙස පැමිණිලි ඉදිරිපත් කළ පාර්ශවයන්.
ඊයේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රාජ්‍ය උත්සවයකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරිය පළ කළේ මෙවන් අදහසක්.
‘‘2009 මැයි මාසේ 18 වැනිදාට කලින් එල්ගටීගටීගඊග පාලන සමයේදී අපි කොච්චර නිදහසේ හිටියද කියලා දැන් තමයි අපිට දැනෙන්නේ. දැනට තියෙන තත්ත්වය අනුව එල්.ටී.ටී.ඊ සංවිධානය ආයෙත් ගොඩ නැගෙන්න ඕනේ. මේක තමයි අපේ අරමුණග අපි පණ පිටින් ජීවත් වෙන්න ඕනේ නම් අපි බියෙන් සැකයෙන් තොරව ඉන්න ඕන නම් අපේ දරුවන් පාසලට ගිහින් ආයෙත් එන්න ඕනේ නම් උතුරු නැගෙනහිර පළාත්වල එල්.ටී.ටී.ඊ බලවත් විය යුතුමයි.’’
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පස්වන පරිච්ඡේදයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු දිවුරුම්දීම සම්බන්ධයෙන් කරුණු දැක්වෙන අතර, එහි සදහන් වන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වන්නා වූ සෑම මන්ත්‍රීවරයෙකුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ගෞරව බහුමානයෙන් යුක්තව ප්‍රතිඥා දෙන බවයි. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමුවන පරිච්ඡේදයේ දෙවන වගන්තියෙන් ශ්‍රී ලංකා ජනරජය ඒකීය ජනරජයක් බවට සදහන් වන අතර විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනියගේ ප්‍රකාශය හරහා මෙරට ඒකීයභාවය සම්බන්ධ වගන්තියට කෙතරම් බලපෑමක් සිදුවනවා ද ? ඒ පිළිබදව අප විමසා අධිනීතිඥ ක්‍රිෂ්මාල් වර්ණකුලසූරියගෙන්. ඔහු කියා සිටියේ මෙරට තුළ එල්.ටී.ටී.ඊ.ය වෙනත් රාජ්‍යයක් ඇති කිරීමට පෙනී සිටි කණ්ඩායමක් බැවින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම මෙරට මූලික නීතිය උල්ලංඝනය කිරීමක් බවයි. ඇය මන්ත්‍රීවරයක් ලෙස දිවුරුම් දීමේදී වෙනත් රාජ්‍යයක් බිහි කිරීමට සම්බන්ධ නොවන බවට දිවුරුමක් දී ඇති බවත්, එබැවින් ඇය කළ ප්‍රකාශයත් සමඟ ඇයගේ මන්ත්‍රී ධුරය පිළිබඳව ගැටළුවක් පැන නගින බවත් ඔහු පෙන්වා දුන්නා.
පොලිස් මූලස්ථානයට අද පළමු පැමිණිල්ල ඉදිරිපත් කළේ සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් විසින්.
පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උන්වහන්සේ කියා සිටියේ අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරිය අත්අඩංගුවට ගෙන වහා පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවයි.
අනතුරුව, සිංහලේ ජාතික සංවිධානය ද පොලිස් මූලස්ථානයට ගොස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
පිවිතුරු හෙළ උරුමය ද ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඔවුන් ඉල්ලා තිබුණේ විජයකලා රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශ සම්බන්ධයෙන් කඩිනම් විමර්ශනයක් සිදුකර ඇයව අත්අඩංගුවට ගෙන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.
සත්‍යය ගවේෂකයෝ සංවිධානය ද මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
මේ අතර, ජාතික හෙළ උරුමය ද නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය හෙලා දැක තිබුණා.
එමෙන්ම, ඇයගේ මෙම ප්‍රකාශයට එරෙහිව අනුරාධපුර නව නගරයේ පිහිටි බස් නැවතුම්පොල ඉදිරිපිටද අද උද්ඝෝෂණයක් පැවැත්වුණේ උතුරුමැද හිටපු මහඇමති එස්.එම්.රංජිත්ගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර, රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශයට විරෝධය දක්වමින් වයඹ පළාත් සභාවේදී පක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන් කළුපටි පැළද සභාවට පැමිණ තිබූ අතර, ජනතා විමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සභා වාරයට සහභාගි වී සිටියේ නැහැ.
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් දේශපාලනඥයින් අදත් අදහස් පළ කළා.
අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, රිෂාඩ් බදියුදීන්, සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන්, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සහ රාවණාබලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සහ පිවිතුරු හෙළ උරුමයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද ද එලෙස අදහස් පළ කළේ ඇයගේ ප්‍රකාශය පිළිබඳව විවිධ කරුණු මතු කරමින්.