Gossips

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිලත් පහළට

කිලෝග්‍රෑම් 5 සහ 2.3 ගෘහස්ථ ගෑස් මිල ද අඩුකර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 55 කින් සහ කිලෝග්‍රෑම් 2.3 ක ගෑස් සිල්න්ඩරය රුපියල් 25 කින් අඩුකර ඇති බවයි අමාත්‍යවරයා කියාසිටියේ.
පසුගිය ජුනි මස 29 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑමි් 12.5 ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 138 කින් අඩු කිරීමට සාපේක්ෂව කුඩා ගෑස් සිලින්ඩර මිල ද අඩුකළ බව රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ කළා.
මිල අඩු කිරීමෙන් පසුව ද තවමත් වැඩි මිලට ගෑස් විකුණන වෙළඳුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා වැටලීම් සිදු කරන ලෙසට පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එවැනි වැරදි සිදු කරන වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීමෙන් පසු වැරදිකරුවන් වුවහොත් රුපියල් පන්දහසේ සිට පනස් දහස දක්වා දඩ නියම කිරීමට හෝ බන්ධනාගාර ගත කිරීමට මෙන්ම එම දඩුවම් දෙකම නියම කිරීමට හැකියාව පවතින බව ද කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
රජය ජීවන වියදම් කමිටුවේ දී සෑම සතියකම පාරිභෝගික භාණ්ඩ මිල සමාලෝචනයේ යෙදෙන අතර ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ මිල නියාමනයකට ලක්කරන බව ද ඔහු කියාසිටියා.
ඒ ආකාරයෙන් රජය පාරිභෝගිකයන්ට ලබාදෙන සහන ඒ ආකාරයෙන්ම ඔවුන් වෙත ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.