Gossips

අවශ්‍යකරන සැකකරුවෙකු විදෙස්ගතව සිට පැමිණීමේ දී කටුනායකදී අත්අඩංගුවට

අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි සැකකරුවෙකු විදෙස්ගතව සිට යළි මෙරටට පැමිණීමේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් යොදාගනිමින් සැකකරු මෙරටට පැමිණීමේදී ඊයේ උදෑසන අත්අඩංගුවට ගැනුනේ කොළඹ අපරාධ කොට්ඨාශයට ලැබුනු තොරතුරකට අනුවයි.
මෙම පුද්ගලයා 2003 වසරේ ගල්කිරියාගම බළලුවැව ජයමාවත හංදියේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු වෑන් රථයක ගැටීමට සලස්වා ඝාතනයට තැත් කිරීම සහ ඔවුන් සතුව තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක් කොල්ලකෑමේ සිද්ධියට අවශ්‍යව සිටි අයෙක් ද වනවා.
ගලේවෙල, පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි ලිහිණිවැහැරගෙදර දිලීප කුමාරතුංග නොහොත් සමන්ත නැමති 45 හැවිරිදි සැකකරු මාදිපොළ ගෙදර වරුණ දේශප්‍රිය ලෙසට සකස් කළ ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයකින් කුවේට් රාජ්‍යයට සිට මෙරටට පැමිණ තිබුනා.
පොලිස් නිලධාරීන් අනතුරට ලක් කිරීමේ සිද්ධියට අදාළව මෙම පුද්ගලයාට අනුරාධපුර මහාධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත්කර ඇති අතර ඔහු හිටපු ගුවන් හමුදා සෙබලෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.
එමෙන්ම සැකකරු වසර 3 ක සේවා කාලයකින් පසු 2001 වසරේ සිට නොදන්වා සේවය හැර ගිය අයෙක් බවටයි විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.
මෙම චෝදනාවලට අමතරව ව්‍යාජ ලේඛණ සකස් කිරීම, ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සහ රියදුරු බලපත්‍රයක් ළග තබා ගැනීම මෙන්ම අන් අයෙක් ලෙසට පෙනී සිටිම යන චෝදනා යටතේ සැකකරු අද කොළඹ අංක 2 ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කොළඹ අපරාධ කොට්ඨාශය වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.