Gossips

නිව්යෝක් ටයිම්ස් වාර්තාව හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි

2015 වසරේ ජනාධිපතිවරණ වියදම් සඳහා චයිනා හාබර් සමාගමෙන් මුදල් ලබාගත් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත එල්ල කරන චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ චීනය ලංකාවෙන් වරායක් ලබාගත් හැටි යන ශීර්ෂය යටතේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ ලිපිය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්.
මෙම නිවේදනය මගින් හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ අදාළ නිව්යෝක් ටයිම්ස් ලිපිය මුල් කරගනිමින් දේශපාලන විරුද්ධවාදීන් මේ දිනවල තමන්ට එරෙහි අසත්‍ය චෝදනා එල්ල කිරීමේ උත්සාහයක නිරතව සිටින බවයි.
එමෙන්ම නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ මෙම ලිපියට මුල්වී ඇත්තේ 2015 ජූලි මාසයේදී රොයිටර් පුවත් සේවය වාර්තා කළ ප්‍රවෘත්තියක් බවද හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.
එම කාල වකවානුව වනවිට බලයට පැමිණ සිටි යහපාලන ආණ්ඩුව චීන ණය පහසුකම් යටතේ ක්‍රියාත්මක වූ සියලූ ව්‍යාපෘති අත්හිටවනු ලැබුවා.
ඊට චයිනා හාබර් සමාගම ආරම්භ කර තිබූ ව්‍යාපෘතිද ඇතුළත්.
ඉන් අනතුරුව වසර එකහමාරක පමණ කාලයක් චීන ආයෝජන ව්‍යාපෘති පිළිබඳ යහපාලන ආණ්ඩුව විමර්ශනය කළ බවයි මෙම නිවේදනයේ දැක්වෙන්නේ.
කෙසේ වෙතත් කිසිදු වැරදි ගණුදෙනුවක් සොයා ගත නොහැකි වූ ආණ්ඩුව පසුව කොලඹ වරාය නගර ව්‍යාපෘතියද යළි චයිනා හාබර් සමාගමට ලබාදුන් බවයි හිටපු ජනාධිපතිවරයා පවසන්නේ.
තවදුරටත් සිය නිවේදනය මගින් නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ ලිපිය විවේචනයට ලක් කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙන්වා දෙන්නේ 2015 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ඉහත චෝදනාව එල්ල කරන මුදල් ප්‍රමාණය ලබාදුන්නේ කාටද?, ඒවා ලබාගත්තේ කවුරුන්ද යන්න සඳහන් කර නොමැති බවයි.
මෙය වගකීමක් නොගෙන මඩ ගැසීමේ ක්‍රමයක් බවයි හිටපු ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.
වත්මන් ආණ්ඩුව බලයට පත් මොහොතේ සිට විපක්ෂයට මඩ ගැසීම හැරුණු විට ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් වෙනත් කිසිවක් සිදුකර නොමැති බව ජනතාව හොදින් දන්නා කරුණක්.
සියලූ ශක්‍යතා වාර්තාවන් උල්ලංඝනය කරමින් හම්බන්තොට වරාය ශ්‍රී ලංකාව ණය උගුලකට හසු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කළ එකක් බවටද ටයිම්ස් පුවත්පත් වාර්තාවෙන් චෝදනා කර තිබෙනවා.
කෙසේ වෙතත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පාලන සමයේ මෙන්ම වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ 2003 වසරේදීද මේ පිළිබඳව ශක්‍යතා අධ්‍යයනයන් සිදුකර තිබෙනවා.
එම අධ්‍යයනයන් මගින් හම්බන්තොට වරාය ඉදිකිරීම නිර්දේශ කර තිබූ බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ.
2012 වසරේදී හම්බන්තොට වරායට පැමිණියේ නැව් 32 ක් බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සඳහන් කර තිබුණද, එය වසර 2 ක් තුළ නැව් 355 ක් දක්වා වර්ධනය වීම පිළිබඳ සඳහනක් කර නැහැ.
එමෙන්ම සිය ආණ්ඩුව පරාජයට පත් වන විට හම්බන්තොට වරායේ බහලූම් පර්යන්තයට අවශ්‍ය දොඹකර යනාදිය අවුරුදු 40 ක කාලයකට එය ක්‍රියාත්මක කිරීම සඳහා චයිනා හාබර් සහ චයිනා මර්චන්ට් සමාගම් සමග ගිවිසුම් අත්සන් කර තිබූ බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
මුළු වරායම විදේශීය සමාගමකට අවුරුදු 99 කට බදු දීමට තම රජයට කිසිදු සැලැස්මක් නොතිබූ බවත්, එය සිදුකරනු ලැබුවේ වත්මන් ආණ්ඩුව බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් පවසනවා.
චීනය වැඩියෙන්ම කැමැත්ත දක්වන්නේ තමන් රට පාලනය කිරීමට බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත පවසා ඇති බව පෙන්වා දෙන හිටපු ජනාධිපතිවරයා සිය නිවේදනය අවසන් කර ඇත්තේ 2015 න් පසු සිදුවූ දේවල් හේතුවෙන් ඉන්දියාවද මා නැවතත් රට පාලනය කරනු දැකීමට වඩාත්ම කැමැත්තෙන් සිටින බවට සැකයක් නොමැති බව සඳහන් කරමින්.
පසුගිය ජනාධිපතිවරණයේදී චිනය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මුදල් වැය කළ බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත පළ කළ වාර්තාව සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයද නිවේදනයක් නිකුත් කළා.
එමඟින් ප්‍රකාශ කර තිබුණේ එය හුදෙක් දේශපාලනමය පූර්ව විනිශ්චයන්ගෙන් පිරුණු, සාක්ෂිවලින් තහවුරු කළ නොහැකි වාර්තාවක් බවට විවිධ පාර්ශවවල විවේචනයට ලක්වී ඇති බවයි.
මේ අතර නිවියෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාව සම්බන්ධයෙන් පසුගිය සතියේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම මහින්ද රාජපක්ෂ රජයේ මූල්‍ය කටයුතු භාරව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද සිය අදහස් පළ කර තිබුණා.
වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය අදාළ සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිලි කළ අතර, පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ මෙම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකළ යුතු ආකාරය පිළිබඳව පොලිස්පතිවරයාගේ නිර්දේශ බලාපොරොත්තු වන බවයි.