Gossips

රාජගිරියේ නිවසකින්, පිඹුරන්, ලේ මාපිලන් ඇතුළු උරගයන් මතුවෙයි

ආරක්ෂිත සත්ත්ව කාණ්ඩයට අයත් උරග විශේෂ 17කට ආසන්න සංඛ්‍යාවක් තම සන්තකයේ නීතිවිරෝධී ලෙස ළඟ තබාගත් පුද්ගලයෙකු වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රාජගිරිය ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා සතුව තිබී ලේ මාපිලන් 3 දෙනෙකු, ඇහැටුල්ලන් දෙදෙනෙකු, මල්සරා නැමැති සර්පයින් 5 දෙනෙකු, පිඹුරන් දෙදෙනෙකු, නාග මාපිලන් දෙදෙනෙකු, නිදි මාපිලන් දෙදෙනෙකු සහ කටකළුවා නැමැති සර්පයෙකු සොයාගෙන තිබුණා.
පසුව සැකකරු අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී ඔහු රුපියල් 50,000ක ශරීර ඇපයක් මත මුදා හැර තිබුණා.
කෙසේ වෙතත් සැකකරුට එරෙහිව චෝදනා ගොනු කර ඇති අතර, ලබන සැප්තැම්බර් 7 වන දා එම නඩුව කැදවීමට නියමිතයි.
එම සර්පයින් නඩු කටයුත්ත අවසන් වන තෙක් දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානය වෙත භාරදීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.