Gossips

ලිබියානු මුහුදේ බෝට්ටු අනතුරකින්, 100ක් මිය යයි

ලිබියානු වෙරළට ඔබ්බෙන් මධ්‍යධරණී මුහුදේ අනතුරට ලක්වූ සංක්‍රමණික යාත්‍රාවක සිටි 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති අතර, ඔවුන් මිය යන්නට ඇතැයි සැලකෙනවා.
ලිබියාවේ දුර්වල රජයක් පැවතීමත්, ඉතාලියට සමීපව පිහිටීමත් හේතුවෙන් නීතිවිරෝධී සංක්‍රමණිකයන් යුරෝපයට පිවිසීම සඳහා ලිබියාව බොහෝ විට යොදා ගනු ලබනවා.
මධ්‍යධරණී මුහුද තරණය කිරීමේ අනතුරුදායකබව නොතකා මෙලෙස ලිබියාවේ ටි‍්‍රපොලි අගනුවරට නැගෙනහිර දෙසින් නික්මුණු යාත්‍රාවක් මෙලෙස අනතුරට ලක්වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ලිබියානු වෙරළාරක්ෂකයන් විසින් යාත්‍රාවේ සිටි 16 දෙනෙකු බේරාගෙන ඇති බව සඳහන්.
ඔවුන් ප්‍රකාශ කර ඇති පරිදි යාත්‍රාවේ පිපිරීමක් හේතුවෙන් එන්ජිම ගිනිගෙන දැවී ඇති අතර, ඉන් පසු එය පෙරළීමට ලක්ව තිබෙනවා.
මොරොක්කෝ, සිරියානු සහ සුඩාන ජාතිකයන් මෙම සංක්‍රමණික යාත්‍රාවේ ගමන් කර ඇති අතර, කාන්තාවන් 15 දෙනෙකු ළදරුවන් දෙදෙනෙකු සහ අවුරුදු 12ට අඩු තවත් ළමයින් 3 දෙනෙකු මිය ගිය පිරිසට ඇතුළත්.
මෙලෙස අනතුරුදායක වුවද ලිබියාවේ සිට මධ්‍යධරණී මුහුද හරහා ඉතාලිය ඇතුළු යුරෝපා රටවලට පසුගිය වසරේදී ඇතුළු වූ නීතිවිරෝධී සංක්‍රමණිකයන් සංඛ්‍යාව එක්ලක්ෂ 20,000කට අධිකයි.
කෙසේ නමුත්, මේ මස මුලදී ටියුනීසියාවට ඔබ්බෙන් වූ මුහුදේ සංක්‍රමණික යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් 112 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර පසුගිය පෙබරවාරියේ ලිබියාවේ බටහිර වෙරළට ඔබ්බෙන් යාත්‍රාවක් අනතුරට ලක්වී 90 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
පසුගිය වසර තුළ මෙලෙස උතුරු අප්‍රිකාවේ සිට යුරෝපයට ඇතුළුවීමට තැත් කළ 3116 දෙනෙකු යාත්‍රා අනතුරුවලින් මිය ගොස් තිබෙනවා.