Gossips

ඉහළ ප්‍රමිතියෙන් යුත් සිනමා කෘති සහ ටෙලිනාට්‍ය නිර්මාණය පිළිබඳ විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යයයි -ජනපති

ඉහළ ප්‍රමිතියෙන් යුත් සිනමා කෘති සහ ටෙලිනාට්‍ය නිර්මාණ බිහිකිරීම උදෙසා විධිමත් ක්‍රමවේදයක් හඳුන්වාදීය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නේ කලාකරුවන් සමග අද (29) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීයි.
චිත්‍රපට සහ ටෙලිනාට්‍ය කර්මාන්තය සඳහා පනවා ඇති ඇතැම් බදු හේතුවෙන් කර්මාන්තය තුළ තවදුරටත් උද්ගතව ඇති තත්ත්වයන් පිළිබඳව ද කලාකරුවෝ මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ පළාත් සභා සමග සාකච්ඡා කර ප්‍රධාන නගරවල ප්‍රමිතියෙන් යුත් එක් සිනමා ශාලාවක් හෝ ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බවයි.
එමෙන්ම විදේශීය ටෙලිනාට්‍ය හේතුවෙන් දේශීය ටෙලිනාට්‍ය කලාවට එල්ලවී ඇති බලපෑමත්, ඒ සඳහා ක්‍රියාත්මක බදු ක්‍රමවේදයන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කර ඇති අතර දේශීය සිනමාව සහ ටෙලිනාට්‍ය කලාව නගාසිටුවීම වෙනුවෙන් නව අරමුදලක් පිහිටුවීමට ද යෝජනාවක් ඉදිරිපත් වූ බවයි ජනපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ අතර 2018 ජූනි මාසයේදී ජපානයේ ජීෆු නගරයේ පැවති 2018 කණිෂ්ඨ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභී ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (29) දහවල් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී තිබෙනවා.
මෙම ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 03 ක්, රීදි පදක්කමක් 04 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත්වූ අතර ඔවුන්ගේ දක්ෂතා අගය කළ ජනාධිපතිවරයා ඉදිරි ක්‍රීඩා දිවිය වෙනුවෙන් සිය ආශිර්වාදය පළකර තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා ඇත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ ඔවුන්ගේ ඉදිරි ගමන වෙනුවෙනුත්, ක්‍රීඩා ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙනුත් රජයෙන් ලබාදිය හැකි සෑම පහසුකමක්ම ලබාදෙන බවයි.