Gossips

නිව්යෝක් ටයිම්ස් අනාවරණය ගැන වෙබ් මාධ්‍යවේදීන්ගෙන් පැමිණිල්ලක්

පසුගිය ජනාධිපතිවරණ සමයේ චයිනා හාබර් සමාගම ඩොලර් මිලියන 7 යි දශම 6 ක මුදලක් ලබාදුන් බව කියන සිද්ධියට අදාළව නිව්යෝක් ටයිම්ස් පුවත්පත කළ අනාවරණය පිළිබඳ පොලිස්පතිවරයාගේ නිර්දේශ මත පරීක්ෂණයක් ආරම්භ කිරීමට මූල්‍ය අපරාධ කොට්ඨාශය සූදානම් වනවා.
ඒ ඊට අදාළව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින්.
අද දිනයේදී වෙබ් මාධ්‍යවේදීන්ගේ ජාතික ව්‍යාපාරය ද මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් කළා.
එමගින් ඉල්ලා සිටියේ නිව්යෝක් ටයිම්ස් පුවත්පත් අනාවරණය පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් සිදුකරන ලෙසයි.
මේ අතර, හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් ද ඊයේ ප්‍රකාශ කළේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.
එය ලියූ මාධ්‍යවේදිනියට පැයක පමණ කාලයක් අදාළ චෝදනා සම්බන්ධයෙන් පැහැදිලි කළත්, ඒවා සියල්ලක්ම ප්‍රතික්ෂේප කර එම පුවත පළ කර ඇති බව ඔහු සඳහන් කළා.
හිටපු ජනාධිපතිවරයාට සහ චීන ජනාධිපතිවරයාට එරෙහිව එම වාර්තාව පළ කර ඇති බව සැකයකින් තොරව ඔප්පු වන බවයි හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය නිල ට්විටර් ගිණුමේ මේ පිළිබඳ සටහනක් තබා තිබුණා.
නිව්යෝක් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සාවද්‍ය කරුණ රැසක් ඇති බව ඔහු එමගින් ප්‍රකාශ කරනවා. චීනයේ සංවර්ධන ලෝකයට සිදුකරන බලපෑම පිළිබඳව බටහිර රටවල් බිය වී ඇති බව ද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ට්විටර් පණිවුඩයේ සඳහන්.