Gossips

නිය ආලේපන ගල්වා තිබීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් ද?

නිය ආලේපන ගල්වා තිබීම ඡන්දය ප්‍රකාශ කිරීමට බාධාවක් ද ?
අද ඡන්ද පොළට ගිය වාද්දූව ප්‍රදේශයේ කාන්තාවක් එවැනි සිදුවීමකට මුහුණ දුන්නා.
ඇය රජරට විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක්.
කුමුදු කෝපියාවත්තගේ මහත්මිය ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද වාද්දූව සුනේත්‍රාරාම විහාරස්ථානයේ පිහිටුවා තිබූ ඡන්ද මධ්‍යස්ථානයට යනු ලැබුවා.
ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය ඡන්ද පත්‍රිකාව සහ ජාතික හැදුනුම්පත රැගෙන එහි ගිය ඇයට මුහුණදීමට සිදුවූයේ මැතිවරණ ඉතිහාසයේ ඡන්ද දායකයෙකු මුහුණ නොදුන් අත්දැකීමකටයි.
ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ සිටි නිලධාරියෙකු පවසා තිබුණේ ඇය නිය ආලේපන තවරා තිබීම හේතුවෙන් ඡන්දය දැමීමේදී සුළැගිල්ලේ තීන්ත ආලේප කිරීමට නොහැකි බවයි.
ඒ නිසා ඡන්දය ප්‍රකාශ කිරීමට ඉඩ දිය නොහැකි බව අදාල නිලධාරියා කුමුදු මහත්මියට පවසා තිබුණා.
අමෙරිකාවේ ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ද කථිකාචාර්යවරියක ලෙස සේවය කර තිබූ ඇය තමන් මුහුණදුන් සිද්ධිය ෆේස්බුක් සමාජ ජාල අඩවියේ මෙලෙස සටහන් කර තිබුණා.
පසුව ඊට ප්‍රතිචාර දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇයට උපදෙස් දී තිබුනේ එවැනි මැතිවරණ නීතියක් නොමැති බැවින් පස්වරු 4 ට පෙර ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙසයි.
එහිදී යම් කිසි බාධාවක් වුවහොත් වහාම තමන් අමතන්නැයි සභාපතිවරයා ඇයට ප්‍රකාශ කර තිබුණේ තම ජංගම දුරකථන අංකය ද එහි සටහන් කරමින්.
මේ පිළිබදව අප කළ විමසීමකදී කුමුදු කොපියාවත්තගේ මහත්මිය ප්‍රකාශ කළේල එම උපදෙස් අනුව තමන් යළි ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය භාවිත කළ බවයි.