Gossips

ඡන්ද ගණන් කිරීම ඇරඹේ

පළාත් පාලන ආයතන 340 ක් සඳහා සභිකයින් 8325 ක් තෝරා ගැනීමට අද පෙරවරු 07 ට ආරම්භ වූ ඡන්ද විමසීම පස්වරු 04 ට අවසන් වුණා.
මේ වනවිට ඡන්ද මධ්‍යස්ථානවල ගණන් කිරීමේ කටයුතු ආරම්භ වී ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් සඳහන් කළේ.
මෙවර ඡන්ද මධ්‍යස්ථාන තුළම ඡන්දය ගණන් කිරීම සිදුකිරීම විශේෂත්වයක්.
දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන 13,374 කදී ඡන්ද විමසීම සිදුකෙරුණු අතර, ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබාසිටි ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව එක්කෝටි 57 ලක්ෂ 8,066 ක්.
මහ නගර සභා 24 ක්, නගර සභා 41 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් සඳහා සභිකයින් තෝරා ගැනීම සිදුකෙරෙන අතර, දේශපාලන පක්ෂ 43 කින් සහ ස්වාධීන කණ්ඩායම් 222 කින් අපේක්ෂකයින් 57,095 ක් ඒ සඳහා ඉදිරිපත්ව සිටියා.
කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම ප්‍රශස්ත මට්ටමක පැවති බව දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර ප්‍රකාශ කළා.
කළුතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 75 ක අගයක් ගන්නා බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී යූ.ඩී.සී. ජයලාල් කියා සිටියා.
මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයද සියයට 70 ඉක්මවා තිබෙනවා.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන තුළ ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩබ්ලිව්.එච්. කරුණාරත්න කියා සිටියා.
මාතලේ දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 80 ක මට්ටමක පැවති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී ඩී.පී.ජී. කුමාරසිරි සඳහන් කළේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව සිදු කෙරුණු බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
මොණරාගල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 75 ක මට්ටමේ පැවති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී පී. කුලසූරිය කියා සිටියේ.
කෑගල්ල දිස්ත්‍රික්කයේ ඡන්ද විමසීම ඉතා සාමකාමීව සිදුවී තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 75 ක මට්ටමක පැවති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරිනි මාලිනී ලොකුපෝතාගම කියා සිටියේ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඡන්ද මධ්‍යස්ථාන තුළද ඡන්දය ගණන් කිරීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
අම්පාර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 70 ක අගයක් ගන්නා බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී තුසිත පී. වනිගසිංහ කියා සිටියා.
ගාල්ල දිස්ත්‍රික්කයේ ද ඡන්දය ප්‍රකාශ කිරීම නිමාවීමෙන් පසු ඡන්ද ගණන් කිරීම ආරම්භ වී ඇති බවයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එස්.ටී. කොඩිකාර කියා සිටියේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම සියයට 75 ක අගයක් ගත් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී රංජිත් ආරියරත්න සඳහන් කළා.
බදුල්ල දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 65 ක්.
මන්නාරම දිස්ත්‍රික්කයේ ඡන්දය භාවිත කිරීම ද සාමකාමී අයුරින් සිදුවූ බවයි වාර්තාවන්නේ.
නුවරඑළිය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.බී.ආර්. පුෂ්පකුමාර කියා සිටියේ ඡන්දය ගණනය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි.