Gossips

දන්සලකට ගිය පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනෙකුගෙන් කඩු ප්‍රහාරයක්

වැලිපැන්න – මීගම – ආඳාවල ප්‍රදේශයේදී පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධාන කර තිබූ දන්සලක් වෙත යමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙකුට තවත් සිසුන් දෙදෙනෙකු විසින් කඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ මෙම සිසුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ ගමන් කරමින් සිටියදී එක් සිසුවෙකු කුඩයක් තුළ සඟවාගෙන පැමිණි කඩුවකින් ඊයේ මෙලෙස පහරදී ඇති බවයි.
පසුව තුවාල ලැබූ සිසුවා ඉත්තෑපාන දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර – නාගොඩ රෝහලට මාරුකර යැවුණා.
රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ සිසුවාගේ පිට ප්‍රදේශයේ කැපුම් තුවාල කිහිපයක් පවතින අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බවයි.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වැලිපැන්න – කොරේවත්ත – පරේගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකු වන අතර, පෞද්ගලික අමනාපයක් මත මෙම පහරදීම සිදුකර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පහරදීමට සම්බන්ධ වැලිපැන්න – පන්තොට – ඉත්තෑපාන ප්‍රදේශයේ පදිංචි සැකකාර පාසල් සිසුන් දෙදෙනා සහෝදරයන් වන අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
මේ අතර කළුතර ප්‍රදේශයේ පැවති භක්ති ගීත වැඩසටහනක් අතරතුර විදුලි සැර වැදීම හේතුවෙන් ළමයින් තුන්දෙනෙකු ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.