Gossips

දකුණේ සැරිසැරූ පාතාල සාමාජිකයන් පිට පළාත්වලට පනී

දකුණු පළාතේ පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ පුද්ගලයින් මේ වනවිට වෙනත් ප්‍රදේශවලට පලායමින් සිටින බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ පළාත තුළ සිදු කරන විශේෂ මෙහෙයුම් හේතුවෙන් මෙලෙස පාතාල සාමාජිකයන් පලායමින් සිටින බවයි.
බස්නාහිර සහ දකුණු පළාත තුළ පාතාල ක්‍රියාකාරකම් මේ වනවිටත් පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බවද එම උසස් නිලධාරියා ප්‍රකාශ කළා.
මේ අතර දකුණු පළාත ඇතුලු දිවයිනේ ප්‍රදේශ රැසක ක්‍රියාත්මක වන පාතාල ක්‍රියාකාරකම් මැඩ පැවත්වීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ සිට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව ගාල්ල, මාතර, ඇල්පිටිය සහ තංගල්ල යන පොලිස් කොට්ඨාශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මකයි.
පසුගිය දින කිහිපය තුල පාතාල කල්ලි අතර ඇති වන ගැටුම් සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සිද්ධීන් රැසක් වාර්තා වුණා.
මාතර නගරයේ පිහිටි රන් ආභරණ වෙළද සැලක් කොල්ල කෑම සහ අකුරැස්ස – විල්පිට ප්‍රදේශයේදී පාතාල කල්ලි සාමාජිකයින් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය අතර ඇති වු වෙඩි හුවමාරුවකින් පාතාල කල්ලි සාමාජිකයකු මියයාම එහි ආසන්තම සිද්ධීන් වනවා.