Gossips

හිරු ශ්‍රද්ධාභිවන්දනාවට කතරගම කිරිවෙහෙර පුදබිමට ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් – හිරු ශාසනාවතරණයෙන් කුල දරුවන් 15 ක් ශාසනයට දායාද කෙරේ (ඡායාරූප)

හිරු ශ්‍රද්ධාභිවන්දනාවේ තවත් මහා පිංකමක් වූ ඵෙතිහාසික රුහුණු කතරගම කිරිවෙහෙර මහ සෑ රදුන් වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්වා, පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා, සුවඳ දුමෙන් සෑ රදුන් නැහැවීමේ මහාභිදාන පුණ්‍ය කර්මය අද සවස සිදුකෙරුණා.
සම්බුදු දහමේ උරුමය ලක්වැසියන්ට හිමි වූ උතුම් පොසොන් පුර පසලොස්වක පොහෝ දිනය වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලය සංවිධාන කළ හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද දවස පුරා පැවැත්වුණේ ඵෙතිහාසික රුහුණු කතරගම කිරිවෙහෙර පුදබිමේදීයි.
හිරු ශ්‍රද්ධාභිවන්දනාව සමඟ ඒකාත්මික වූ සැදැහැවතුන් අෂ්ඨාංග සීලයේ පිහිටවූයේ කිරිවෙහෙර විහාරාධිකාරී පූජ්‍ය තලගල ඥානීන්ද හිමියන් විසින්. අනතුරුව උන්වහන්සේ මෙලෙස අනුශාසනාවක් සිදුකළා.
අනතුරුව විචිත්‍ර ධර්ම කථිකයාණන්වහන්සේ ඇතුළු විද්වතුන්ගේ සහභාගීත්වයෙන් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා මෙන්ම තවත් ආගමික වැඩසටහන් රැසක් අද දිනය පුරා කතරගම කිරිවෙහෙර පුදබිමේදී පැවැත්වුණා.
එම සියලු වැඩසටහන් කිරිවෙහෙර පුදබිමේ සිට සජීවිකරණය කරන්නට හිරු ටී.වී., හිරු එෆ්.එම් ප්‍රමුඛ ආසියානු මාධ්‍ය ජාලය පියවර ගත්තා.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ක්‍රියාත්මක කෙරෙන කුල දරුවන් පැවිදි කිරීමේ හිරු ශාසනාවතරණය පුණ්‍යෝත්සවයද මෙම පිංකම් රැසට ඇතුළත් වුණා.
නොකඩවා 06 වන වරටත් සංවිධාන කෙරුණු හිරු ශාසනාවතරණය වැඩසටහන තුළින් මේ වනවිට 70 කට අධික සාමනේර හිමිවරුන් පිරිසක් සම්බුද්ධ ශාසනයට දායාද කර තිබෙනවා.
අද කුල දරුවන් 15 දෙනෙකු සම්බුද්ධ ශාසනයට ඇතුළත් කෙරුණු අතර, මෙම වැඩසටහන යටතේ සසුනට එක්වු සියලු සාමනේරයාණන් වහන්සේගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිමවන තෙක් සියලු පහසුකම් සැලසීමේ බරපැන දරන්නේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතායි.
කිරිවෙහෙර පුදබිමේදී භික්ෂූණ් වහන්සේ 200 නමක් විෂයෙහි මහා සංඝගත දක්ෂිණාව පැවැත්වුණේ ඉන් අනතුරුවයි.
එසේම සද්ධර්මය අභිෂේක ගන්වනු වස් මොණරාගල දිසාවේ සියලු පිරිවෙන් වෙත ත්‍රිපිටක ධර්ම ග්‍රන්ථ පූජා කිරීමේ මහා පිංකමක්ද අද සිදුකෙරුණේ ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින්.
හිරු ශ්‍රද්ධාභිවන්දනා මහා පිංකම අවසන් වන්නේ ඵෙතිහාසික රුහුණු කතරගම කිරිවෙහෙර මහ සෑ රදුන් වෙත සුවඳ මලින් පුෂ්පෝපහාර දක්වා, පංච මහා තූර්ය නාදයෙන් ශබ්ද පූජා පවත්වා, සුවඳ දුමෙන් සෑ රදුන් නැහැවීමේ මහාභිදාන පුණ්‍ය කර්මයෙන්.