Gossips

විල්පිට රක්ෂිතයේ තවදුරටත් මෙහෙයුම්

පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඊයේ රාත්‍රියේ ඇති වූ වෙඩි හුවමාරුවේදී පළා ගිය සැකකරුවන් දෙදෙනා සොයා අකුරැස්ස – විල්පිට රක්ෂිතයේ තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළා.
පාතාල නායක මාකඳුරේ මධුෂ්ගේ දකුණේ ප්‍රධානතම ගෝලයෙකු ලෙස සැලකෙන මානෙල් රෝහණ හෙවත් තිලක් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.
ඔහු සමඟ සිට පලාගිය දෙදෙනෙකු සොයමින් මෙම මෙහෙයුම ආරම්භ වුණේ ඉන් අනතුරුවයි.
මේ අතර, මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළදසැලක් කොල්ලකෑමට පැමිණි පාතාල සාමාජිකයින් අතර ඇති වූ වෙඩි හුවමාරුවේදී තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස් සැරයන්වරයාගේ සුවදුක් විමසීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර අද එහි පැමිණියා.
පළමුව පොලිස්පතිවරයා පොලිස් රෝහලට ගොස් එම ගැටුමේදී තුවාල ලැබූ පොලිස් කොස්තාපල් වසන්ත පුෂ්ප කුමාරගේ සුවදුක් විමසා ඇති අතර අනතුරුව කොළඹ ජාතික රෝහලට පැමිණ එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පොලිස් සැරයන්වරයාගේ සහ එම සිද්ධියට තුවාල ලබා එම රෝහලේම ප්‍රතිකාර ලබන කාන්තාවගේ සුවදුක් විමසා තිබුණා.
මේ අතර, පොලිස්පතිවරයා අද පස්වරුවේ මෙම සිද්ධියේදී කොල්ලකරුවන්ගේ වෙඩි පහරින් මියගිය පොලිස් සැරයන් සුරංග ප්‍රදීප්ගේ මාතර – ගොඩගම පිහිටි නිවසට ද ගොස් ඔහුගේ බිරිදට මුදල් පරිත්‍යාගයක් ද සිදුකර තිබුණා.