Gossips

SF බණ්ඩාට වෙඩි තැබූ අභිරහස අධිකරණයට

අපරාධ රැසකට සම්බන්ධ පාතාල සාමාජිකයෙකු වූ නොච්චියාගම ටී.එම්.සරත් බණ්ඩාර හෙවත් එස්.එෆ් බණ්ඩා ඇතුළු තිදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවන් අනාවරණ වී තිබෙනවා.
අනුරාධපුර – තිරප්පනේ – කුරුවිල මාර්ගයේ දී 2016 වසරේ අප්‍රේල් 30 වනදා එස්.එෆ් බණ්ඩා ඇතුළු තිදෙනෙකු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුකරන අතරතුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ප්‍රදේශයේ මූල්‍යායතනයක සේප්පුවක් බිද මුදල් ලබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහුගේ සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මෙම ඝාතන සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ වී තිබුණා.
ඒ අනුව, අනුරාධපුර පොලීසියේ ඉහළ තනතුරක් දැරූ නිලධාරියෙකු ඇතුළු ආරක්ෂක අංශයේ සිව් දෙනෙකු සහ නොච්චියාගම ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු මෙම ඝාතනයට සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.
අදාළ ඉහළ පොලිස් නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළ අයෙකු බවටයි වාර්තාවන්නේ.
ඝාතනයට යොදා ගත් T56 වර්ගයේ ගිනි අවි 4 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් භාරයට ගෙන ඇති අතර, ඒවා අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අධිකරණයට සදහන් කර ඇත්තේ මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක් බිද රුපියල් කෝටි 7 ක රන් භාණ්ඩ හා මුදල් ද සොරාගැනීමේ සිද්ධියට සම්බන්ධ බවයි.