Gossips

ජනපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාට සහ දැව සංස්ථා හිටපු සභාපතිට ඇප ප්‍රතික්ෂේප වෙයි

රුපියල් කෝටි දෙකක අල්ලසක් ගැනීමේදී අත්අඩංගුවට ගෙන සිටින ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, ඔවුන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින්.
සැකකරුවන් අද (26) පෙරවරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා කියා සිටියේ සැකකරුවන් ලබාගෙන ඇති අල්ලස් මුදලේ ප්‍රමාණය සලකා ඔවුන්ට ඇප ලබාදිය නොහැකි බවයි.
එබැවින් නඩු විභාගය අවසන් වනතුරු සැකකරුවන් රක්ෂිත බන්ධනාර ගත කර තැබීමට තම අධිකරණය තීරණය කර ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක සඳහන් කළා.
තම සේවාදායකයන්ට ඇප ලබාදෙන ලෙස සැකකරුවන්ගේ නීතිඥයන් කළ ඉල්ලීම සලකා බලමිනුයි විනිසුරුවරයා මේ බව දැනුම් දුන්නේ.
කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියන් සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් කොටසක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම කොළඹ පිහිටි හෝටලයක රථ ගාල තුලදී මොවුන් අත්අඩංගුවට ගැනුනේ පසුගිය මැයි මස 03 වනදාවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් කෝටි දෙකක මුදල ගණනය කරමින් සිටියා.